ජිනීවා මානව හිමිකම් කවුන්සිල ‘මුවා‘ වෙනුවට එන්.ජී.ඕ. ‘මුව හමට‘ තඩි බෑම

ජිනීවා කථාවෙන් පසු දැන් එළැඹ ඇත්තේ පාස්කු සමයයි. කෙටියෙන් කියනවා නම් රජාපක්ෂවරුන් විසින් 2019 ජනාධිපතිවරණයේ දී මෙන්ම 2020 මහ මැතිවරණයේ දී ද තම දේශපාලන ජයග්‍රහණය සඳහා ඉතා ඉහළින්ම භාවිතා කළ තේමාවන් දෙකක් පිළිබඳ යළි සාකච්ඡාවකි. ඒ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම සහ ඉස්ලාම් මූලධර්මවාදයට යහපාලන රජය යටවීම යන මාතෘකා දෙකය. පාස්කු ප්‍රහාරයේ දෙවැනි සැමරුමට රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ මාධ්‍යවලින්ද විශාල අවකාශයක් සළසා ඇති අතර දැන හෝ නොදැන කාදිනල්තුමා ඇතුළු පිරිසක්ද රජය පාස්කු ප්‍රහාරය ගැන කථා කරන සෑම අවස්ථාවකම ඊට ඌණ පූර්ණ සපයමින් සිටී.

ජිනීවා නුවර දී අවසන් වූ සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවෙන් ඉදිරිපත් වූ නිර්දේශ ගැන දැන් කථාව අඩුවී ඇත්තේ පාස්කු සාකච්ඡාව ඉහළට පැමිණි නිසාය. 46 වැනි මානවහිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනා අනුව ශ්‍රී ලංවේ මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර් ජාතික මානුඹීය නීති කඩකිරීම් සම්බන්ධ සාක්ෂි සහ දත්ත එක් රැස් කිරීමට කාර්යාලයක් පිහිටුවන අතර එය එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය යටතේ පිහිටුවීමට නියමිතය එම කාර්යාලයෙන් යුද ගැටුමු පැවැති කාලයේ මෙන්ව වර්තමානයේ සිදු වන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳවද කටයුතු කිරීමට නියමිතය. එය බරපතල තත්ත්වයකි. එම සාක්ෂි මත මෙරට චෝදනා එල්ල වී සිටින අයට විරුද්ධව විශ්වීය අධිකරණ බලය යන සංකල්පය යටතේ විදේශ රටවලදී නඩු පැවරිය හැකිය.

එසේම 2022 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වැනි සැසිවාරය දක්වාම ශ්‍රී ලංකාව සම්බන්ධ තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණයට ලක්වේ. තවත් නිර්දේශ රාශියක් ඇත. ඒ අතර ඇති තවත් වැදගත් නිර්දේශයක් වන්නේ මානව හිමිකම් ආරක්ෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත් ඔවුන්ට එරෙහි ඕනෑම ප්‍රහාරයක් පිළිබඳ විමර්ශනය කරන ලෙසත් කළ ඇති නිර්දේශයයි. තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය මෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය නැවත නිවැරදි ලෙස ඔවුන්ට බලතල ලබා දී ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටී.

ගැටළුව පැන නඟින්නේ මෙතැන දී ය. එනම් ‍මෙම නිර්දේශවලින් වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානවල සහාය හැම විටම එක්සත් ජාතීන්ගේ විමර්ශන නිලධාරීන්ට හිමිවේ. එයට ශ්‍රී ලංකා රජය එකඟ නැත. ඒ නිසාම මේ වන විට එම සංවිධාන පසුපස පැන්නීමට රජය පියවර ගෙන ඇත විශේෂයෙන්ම ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවල එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමටත්, ඔවුන්ගේ මුල්‍ය ගනුදෙනු පිළිබඳ වාර්ථා අධීක්ෂණය කිරීමත් සිදු කරමින් සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෝ කුමක් හෝ ජාත්‍යන්තර මානව හිමිකම් අධිකාරියක් ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විට රජය වහාම මෙරට මානව හිමිකම් සංවිධාන කටයුතුවලට බාධා කිරීමට සහ ඔවුන් බියපත් කිරීමට පටන් ගනී. එය සිදු කරන්නේද එම සංවිධාන තමන්ට අදාල නැති කාර්යක් කරන බවත් දේශ ද්‍රෝහි කටයුතුවල යෙදෙන බවටත් ප්‍රචාරය කරමින් රටේ ජනතාව මානව හිමිකම් සංවිධානවලට එරෙහිව කටයුතු කිරීමට පොළඹවමින් සහ රජය එම සංවිධානවල කාර්යන්ට බාධා කිරීම සාධාරණීයකරණය කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ වත්මන් රජය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව ඇති ජාත්‍යන්තර විශ්වාසය පමණක් නොව මෙරට ජනතාවගේ විශ්වාසය ද පළුදු කර ඇති අතර අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය මෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ද අකර්මණ්‍ය තත්ත්වයකට පත් කර ඇත. එසේ රජයේ යාන්ත්‍රණයන් රජය විසින් හිතාමතාම අඩපණ කළ විට ලැබෙන පිළිතුර වන්නේ ජාත්‍යන්තර යාන්ත්‍රණයන්ගේ පිහිට පැතීමට වින්දිත පාර්ශවයන්ට සිදු වීමයි. එසේම පසුගිය වසරේ මැයි මස පැවැති රණවිරු සැමරුමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට කිසිම රණවිරුවෙක්ට එරෙහිව චෝදනා එල්ල කරන්න ඉඩ නොදෙන අතර අවශ්‍ය වුවහොත් බලපෑම් කරන ජාත්‍යන්තර සංවිධානවලින් ද ඉවත්වන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කෙසේවත් මානව හිමිකම් ආරක්ෂ නොවන බව ජාත්‍යන්තරයට මෙන්ම මානව හිමිකම් අල්ලංඝනය වූ දේශීය පුරවැසියන්ට ද පැහැදිලිය.

මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස හා පෙර සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව කටයුතු කරන ලෙස ජාත්‍යන්තර බලපෑම් එල්ල වන සෑම අවස්ථාවකම පාහේ මෙවර ද මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සංවිධානවලට එරෙහිව කටයුතු කිරීම රජය විසින් අරඹා ඇත.

ඉදිරියේදී කුමන රටක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සම්බාධක පැනවුවද, මානව හිමිකම් කඩවීම්වලට වගකිව යුතු කුමන පුද්ගලයෙකුට එරෙහිව කවුරුන් හෝ කුමන හෝ රටක දී අධිකරණ ක්‍රියා මාර්ග ගත්ත ද ඊට වගකිව යුතු වන්නේ මෙරට ක්‍රියාත්මක සිවිල් සංවිධාන බව රජයේ මතයයි. දැන් ඔවුන් කරමින් සිටින්නේ එයයි. ජනාධිපතිවරයා විසින් පත් කළ පසුගිය කාලයේ මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කොමිෂන් සභාවල නිර්දේශ සම්බන්ධයෙන් තමන්ට වාර්ථා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂමේ වාර්ථාව තුළ ඒ අනුව කිසිදු මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව තොරතුරු ඇතුළත් විය නොහැකිය. එසේ ඇතුළුවනවානම් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙතෙක් කළක් වගා කළ රණවිරුවන්ට එරෙහිව පරීක්ෂණ නොකිරීම යන සටන් පාඨය පුස්සක් බවට පත් වෙනු ඇති.

එබැවින් සිදු විය හැක්කේ එම ජනාධිපති කොමිෂමේ වාර්ථාව ද ජනාධිපිට ලබා දුන්නත් හෙළි දරවු නොවන වාර්ථාවක් බවට පත්වීමට ඇති ඉඩ කඩ වැඩි වීමයි.

Related posts