දේශපාලන රැඳවියන් දින 06 ක් මාරාන්තික උපවාසයේ , යහපාලනය නිහඬයි,

අනුරාධපුර බන්දනාගාරයේ දේශපාලන රැදවියන් මීට දින හයකට ඉහත ආහාර ලබා ගැනීම වර්ජනය කර තිබේ. යුද්දය අවසන් වී වසර 09 ක් ගෙවී ඇතත් තිස් අවුරුදු යුද්දයේ ගොදුරු බවට පත්වෙමින් සිරගෙවල් තුල දිය වෙන තරුණ ජීවිත ගැන අපට අසන්නට ලැබෙන්නේ අහාර  වර්ජන උපවාසයන් හරහාය. ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ පුනරුත්තාපනයක් හෝ පොදු සමාවක් යටතේ නිදහස් වීමට අවස්තාවක්ය. මීට පෙරද මැතිවරනයක් ආසන්න වත්ම  දේශපාලන සිරකරුවා මුලා කොට උතුරේත් දකුනේත් දේශපාලනය යහමින් ඔජවඩා ගැනීම මිස සිරකරුවන්ගේ ප්‍රශ්නයට පිලිතුරු සොයන්නට සත්‍ය උවමානවක් ආන්ඩුවට හෝ දෙමල දේශපාලන නියෝජිතයන්ට නොතිබුනේය. වමේ බලවත් කන්ඩායම්ද දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට අත දමන්නේ බොහොම පරිස්සමින් ඇගේ ගෑවෙන නොගෑවෙන ගානටය. ජවිපේ ඔවුන් සම්බන්දයෙන් කට හොලවන්නේ නැත. සිංහල බෞද්ධ ජාතිවාදයේ වෛරයේ කෞතුක වස්තූන් වී ඇති සිරගත දමිල තරුන ජීවිත ගැන අමතක කොට වමේ කන්ඩායම්වලට වුව උතුරේ ජනතාව සමග ඇතිකර ගත හැකි දෙශපාලන සම්මුතීන් වල අර්ථය අවසානයේ දකුණට අවශ්‍ය හැඩයෙන් නොවෙනස් වී ඇත. යුද්දයේ සජීවී ඛේදවාචකය ඇස් ඉදිරිපිට පෙනි පෙනී වම ඒ වෙනුවට තොරාගන්නේ සදාකල් විකිණිය හැකි අතුරුදහන් වූවන් වැනි සේරීවානිජ කූටක අරගලයන්ය. අතුරුදහන් වූවන්ට යුක්තිය ලැබිය යුතු නොවේ යැයි මින් අදහස් නොකෙරෙන අතර අපට ජීවමාන වන ඇත්ත ප්‍රශ්නයට පිලිතුරු නොසොයා අතුරුදහන් වූවන්ගේ  අසරන දමිල පීඩිත අම්ම තාත්තා මුලාවේ දමමින් කරකවන කරකැවිල්ල තුල ගම්‍ය වන්නේ ඒකීය රටක ඉන්නට ඕනෑ බව සිංහල බෞද්ධ අදීපත්‍යවාදී ගමන දකුනට සපත කිරීමේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් ලෙස මිස වෙන කුමක්ද? අතුරුදහන් වූවන්ගේ යුක්තිය පසිදලන්නට ඉදිරියට එන එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභා විදේශ අදිකරණ ක්‍රියාවලීන්  ඊනීයා විදේශ වුවමනා ලෙස සලකන වමේ ඇතැම් කන්ඩායම් දරුවන් අහිමි උතුරේ අම්මා තාත්තා දක්කන්නේ හොරාගේ අම්මගෙන් පේන අසන්නටදැයි සාදාරන පැනයක්ද ඇත.

12000 කට වඩා සිටි දේශපාලන සිරකරුවන් මේ මොහොත වනවිටත් පුනරුත්තාපනයෙන් හෝ නඩු කටයුතු අවසන් වීමේන් නිදහස ලබා ඇති පසුබිමෙක තිරස්චීන ලෙස සිය ගණනක පිරිසක් රඳවා තබාගැනීමට එරෙහි වීමට ඕනෑවටත් වඩා හේතු සාධක ඇත. එල් ටී ටී සංවිධානයේ වගකීම් දැරූ නායකත්වය දෙශපාලන උවමනා එපාකම් ඉටුකර ගැනීමට දකුණට හේත්තු වූ විට නිදහස හිමි වන්නත් දකුණට දේශපාලන වටිනාකමක් එකතු කිරීමට අපොහොසත් පිරිසක් හිරගෙවල් වල ගාල් කර තිබීමත් සාධාරණීකරනය කල නොහැක. යහපාලන ආන්ඩුව දේශපාලන සිරකරුවාගේ ප්‍රශ්නයට විසඳුම් දෙන බවට මැතිවරන පොරොන්දු දුන්නද මෙතෙක් සාධාරණ තිරසාර විසඳුම් ලබා දීමට අපොහොසත්ය. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන්වැදුනු සිවිල් සමාජ නියෝජිතයන්ද ආන්ඩුවටම හේත්තු වී දෙමල ජනයාගේ ප්‍රශ්න විකුණා ආන්ඩුවේ පුටුවක් අල්ලා ගන්නට පෙල ගැසුනා මිස ඉන් එහා කිසිවක් නොවීය. එල් ටි ටී දේශපාලන අංශ නායිකා  තමිළිණීගේ පොත උඩ දමා තලු මැරූ සිවිල් සමාජය යහ පාලන ආන්ඩුව සමග හවුලේ දකුණට අවැසි සුදිය නම් යහමින් හැදුවාය. ව්‍යවස්තා කෙටුම්පත් වැනි ව්‍යාජ ව්‍යාපෘති රට පුරා දක්කමින් ඔඩොක්කු පුරෝගත් සිවිල් ක්‍රියාකාරීන් ශිෂ්‍ය අරගල,සේවක අරගල, කම්කරුවන් මර්ධනය කිරීමේ පාලක හොරනෑ බවට රූපන්තරනය විය. දෙමල ජනයාගේ අයිතීන් වෙනුවෙන් අඛන්ඩව හඬ නැගු වික්‍රබාහුලා පවා අවසානයේ දේශපාලන සිරකරුවන්ගේ නිදහසේ අරගලය තුලට යහපාලන හැඩයේ කොකිස් අච්චු වලින් අරගල කරන්නට පෙලඹී ඇත. මීට වසර 05 කට ආසන්න ඉතිහාසය තුල දෙමල දේශපාලන රැඳවියන්ගේ නිදහස සම්බන්ද අරගලය තුල ගොනු වූ පිරිස් හුදකලා වී හෝ දියවී යාමට බලපෑ තත්වයන් වලට හේතු සාධක සෙවිය යුතුය.

කුමාර් ගුණරත්නම් සිරගතව සිටි අවදිය තුල පෙරටුගාමී සමාජවාදී පක්ෂය දමිල දෙශපාලන රැදවියා සම්බන්දයෙන් දැක්වූ ආකල්පය හා ක්‍රියාකලාපයන් කුමාර් නිදහස් වීමෙන් පසු අතුරුදහන් වූවන් දක්වා පල්ලම් බැස ගියහ. දේශපාලන රැදවියාගේ අරගලය වෙනුවෙන් කලකට ඉහත වෙහෙසුනු සංජීව බන්ඩාරලා වැනි ශිෂ්‍ය ක්‍රියා කාරීන් ට්‍රැක් පන්නා කැලේ යවන පෙසපෙත් දකුණට තුන් තේරවිලි  උත්තර හැදීමට යුහුසුලු විය. එම තත්වයන් තුල  පොදු අවකාශයක අරගලයේ පටු රේඛාවකින් බෙදා වෙන්කරගැනීමට ඔවුන්ට තිබූ හදිසිය අපට නැවත පසක් කර වූයේ ඊනියා  පක්ෂ න්‍යාය පත්‍රයට පිටින් ඇති මිනිස් අරගල බැහැර කිරීමේ පැරණි වමේ කූට සම්ප්‍රදායයි.

ලෝකය පුරා ජාතික දේශපාලන රැල්ල නැවත හිස ඔසවද්දී ජර්මනිය තුල නාසිවාදයට එරෙහි අභියෝගයේ පලමු වෙඩිමුරය පත්තුවන්නේ  ශිෂ්‍ය කදවුර තුලින්ය. අන්තවාදීන් එක් වීදීයක 5000ක් විදි බසින විට අනෙක් පස විදියේ 25000 ක පිරිසක් ඊට එරෙහිව විදී බසින්නේ ජර්මනියේ තරුණ පරම්පරාවය. මිනිසුන් වර්ගවාදී  යුද්දවලින් උගත දෑ යලි නොවන්නට තරුන පරම්පරාව සුදානම් කර ඇත. විවිද රටවල තත්වය එසේ වුවත් ජතිවාදී ප්‍රවේශයන්ට එරෙහි අරගලයේ බැටන් එක ලාංකීය වම සරම අස්සේ ගසා තරුණයන් අතට දෙන්නේ ඇට බෝල කූට්ටමය. ඉතාම ප්‍රගතිශීලී නිදහස් අද්‍යාපන අරගල වැනි අවකාශයන්ට බාහිරින් සහය වන විදග්දයන් පවා අවසානයේ බෝලකූට්ටන් සම්ප්‍රදායේ සහ ඊට එරෙහි දේශපාලනයේ පස මිතුරුතා දියකරන්නන් බවට පෙරලී ඇත.

දෙමලාගේ දුක් කන්ද, ඝාතන, වද කදවුරු ,බාලචන්ද්‍රන්, ඉසිප්‍රියා ,  ගැන කවි, සාහිත්‍ය, නවකතා කෘති කල එලි බැසීම් මදු සාද වලට රොක්වන ප්‍රගතිශීලීන් ප්‍රමානය දෙමල ජනයාගේ සැබෑ ප්‍රයෝගික අරගල වල කිසිදින දකින්නට නොමැත. පොතක් මිලදී ගෙන චිත්‍රපටියක් බලා තුටු වී මුනත්තහඩු සමාජයට අභිමුක කොට ශරීරය සගවා ඔවුන් සැමදා පලා ගියහ. කොතනක හෝ වැරදීමක් තිබිය යුතුය. තමිලිණීගේ පොත මරු මචන් කිවූ ඇතැමුන් සිරගත දමිල දේශපාලන තරුනයන් සහ තමිලිණි ලස්සනට වෙන් කොට ගත්හ. 

හෙට දවසේ සියලු බන්දනාගාර ගත දේශපාලන රැදවියන් විසඳුම් පතා මාරාන්තික උපවාසයට එක් වන බව මේ වන විට තොරතුරු ගලා එමින් ඇත. බාහිර සමාජයෙන් දියත්විය යුතු අරගලය හිරගෙදරින් මතුවන තුරු නිහඩව සිටින උතුරේ දමිල දේශපාලන හෙන්චයියන් හෙට සිට හිරගෙවල් තුලට බඩ ගාන අයුරු දැක ගත හැක. බොරු පොරොන්දු මතින් යුද්දයෙන් වසර 09 යක් අවසානයේත් හිරගෙවල් වල තප්පවන තරුණ ජීවිත සම්බන්දයෙන් රජයට තීරණයක් ගැනීමට මේ මොහොතේ  බල කිරීමට මැදිහත්වීම ප්‍රගතිශීලී සියලු පාර්ශවයන්ගේ වගකීමක්ය.            

|භානු විජේරත්න|

Share this

Related posts