උතුරේ සෞඛ්‍ය නංවන්න සෞඛ්‍ය ඇමති පොරොන්දු වෙයි

උතුරේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා බිලියන ගණනාවක මුදලක් වාර්ෂිකව වැය කරන බවත්,දේශපාලනඥයන් වශයෙන් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදී උතුරු පළාතේ ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 530 ක ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහල් භුමියේ ඉදිකරන පුනරුත්ථාපන රෝහල සදහා මුල්ගල තැබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම උත්සව අවස්ථාවන්ට 16වනදා එක්වෙමින් ය.

“යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුරප්පාඩු 73 ක් ඇති බව මට දැන් දැනුම් දුන්නා. කඩිනමින් වෛද්‍යවරුන් 33 ක් ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා. කණිෂ්ඨ සෞඛ්‍ය සහායකයින් 62 ක් හෙට දිනය වනවිට යාපනය ශික්ෂණ රෝහලට ලබාදෙනවා. මාතෘ සායන ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබාදෙන අතර, යාපනය පල්ලිය මගින් රෝහල් සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ඉඩමක් ලබාදීම මම අගය කරනවා.

වත්මන් රජය උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට කටයුතු කරනවා. මම අද සතුටු වෙනවා උතුරේ ජනතාව නිදහසේ වර්ජන, විරෝධතා වල නිරතවීම ගැන. දකුණේ ජනතාව වගේ ඔවුන්ටත් ඒ සදහා අයිතියක් තිබෙනවා. තවත් අතකින් ඒ තමයි ලැබී ඇති නිදහස පෙන්නුම් කරන අවස්ථාවක් වන්නේ. යනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා උත්වසව සභාව අමතමින් පැවසීය.

30 වසරක යුද්ධයක් හේතුවෙන් උතුරේ ජනතාවට නිදහසන් නොලැබුණ බවත් එම නිසා පවතින ගැටලු වලට සාකච්ඡා මාර්ගයෙන් විසදුම් ලබාදීමට හැකි බවත් එහිදී සෞඛ්‍ය ඇමති රාජීත සේනාරත්න පෙන්වා දුන්නේය.

යාපනයේ දුප්පත් ජනතාවට අවශ්‍ය අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට යාපනය රෝහල පත් කිරිම තමන්ගේ අරමුණ බව පවසන ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කලේ ඉදිරීයේදී හෘද රෝග ඒකකය ඉදිකිරීමට ද පියවර ගන්නා බවයි.

යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම, ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීම, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර ජනතාවට සහන සැළසීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වීම යන කරුණූ පදනම් කර ගනිමින් උතුරු පළාතේ ජනතාවගේ සම්මානය ද එහිදී යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති විසින් ඇමතිවරයාට පිලිගැන්වීය.

Share this

Related posts