ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් වතු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ වේ

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පුණ්ඩළුඔය, ඩන්සිනන් තේ වතුයායේ ඉදිකරන ලද වතු නිවාස සංකීර්ණය අගෝස්තු 12 දා අගමැති රනිල් වික්‍රමසිංහ හා ඉන්දියානු මහ කොමසාරිස් රංජිත් සිං සහ අමාත්‍ය පලනි දිගම්බරන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරා දී තිබේ.

මේ සදහා ඉන්දියානු රජයේ රුපියල් මිලියන 383.5 ක ආධාර හා කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 89.5 ක වියදම් කර ඇති අතර මෙම නිවාස සංකීර්ණයේ නිවාස 404 කින් සමන්විත වේ.

‘මහත්මා ගාන්ධිපුරම්’ ගම්මානය ලෙස හදුන්වා දී ඇති මෙම නිවාස සංකිර්ණයෙහි එක් නිවසක් සදහා ජලය, විදුලිය සහිත පර්චස් 07 කින් සමන්විත ඉඩම සඳහා හිම්කම් ඔප්පු ප්‍රදානය කිරීම ද අගමැතිවරයා විසින් සිදු කෙරිණි.

එහිදී අගමෙතිවරයා සදහන් කළේ වතුකරයට නව ගම්මාන ඉදිකිරීමට දුන් පොරොන්දුව අනුව ආණ්ඩුවේ තුන්වෙනි වසර අවසන්වන විට මහත්මා ගාන්ධිපුරම් ගම්මානය විවෘත කිරීමට හැකිවූ බවයි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ උත්සව සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ශ්‍රී ලංකාව සංවර්ධනය සදහා ගෙන යාමට අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවයි.

2016 වර්ෂයේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ, ඉන්දියානු රජයේ ආධාර මත වතු කම්කරු ප්‍රජාවට නිවාස 1000 ක් ඉදිකර දෙන බවට දුන් පොරොන්දුවක් දී තිබේ.

වතුකම්කරු ජනතාව සදහා තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු සහ අමාත්‍ය පලනි දිගම්බරන් යන අය අත්සන් තබා තිබේ.

Share this

Related posts