මන්නාරම සමූහ මිනීවල ගැන වාර්තා කරන්න නම් පොලිස් අවසර අවශ්‍යයි

මන්නාරමේ සතොස සමූහ මිනීවලේ කැනීම් වාර්තාකළ මාධ්‍යවේදීන්ට ඒ සඳහා මෙතැන් පටන් පොලිසියේ අවසරය ලබාගැනීමට සිදුවී තිබෙන බවට වාර්තා වේ.

මන්නාරම සමූහ මිනීවලේ යම් ඡයාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් ලබාගැනීමට අවශ්‍ය නම් විදේශීය සහ දේශීය මාධ්‍ය ආයතන අධිකරණය මගින් අවසර ලබාගත යුතු බවත්, ආරක්ෂාව භාර පොලිස් නිලධාරියාගේ නිල අවසරයක් ලබාගත යුතු බව මන්නාරම අධිකරණය නියෝග කර තිබේ.

මන්නාරම සතොස සමූහ මිනීවලේ කටයුතු වාර්තාකරණය සම්බන්ධයෙන් උසාවිය අගෝස්තු 7 වනදා ද නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ,පනස් දිනක් තිස්සේ කැනීම් සිදු කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඒවා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ටී.ජී. ප‍්‍රභාකරන් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුණේ විමර්ශන කෙරෙමින් පවතින භුමියට ඇතුල්වීම, ඡායාරූප ගැනීම සහ දර්ශන පටිගත කිරීම තහනම් කිරීමයි.

ප්‍රධාන වෝහාරික විශේෂඥ දොස්තර සමින්ද රාජපක්ෂ ‘අකුණ’ හා පැවසුවේ මැයි 26 දා ඇරැඹුනු කැනීම් වලින් මේ වනවිට පූර්ණ අස්ථි පද්ධති 81 ක් ගොඩගෙන ඇති බවත්,එයට දරුවන් සහ කාන්තාවන්ගේ ඇටසැකිලි ඇතුළත් බවයි.

 

 

Share this

Related posts