‘සමාජ ක්‍රියාකාරිනියක’ කියන වචනෙට මං ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැ : අරුන්දතී රෝයි

සිය ප්‍රථම නවකතාව වූ The God of Small Things වෙනුවෙන් බුකර් සම්මානය ලත් අරුන්දති රෝයි වසර 20 කට අනතුරුව, පසුගිය වසරේදි රචනා කළ The Ministry of Utmost Happiness  නවකතාව හරහා නැවතත් කතාබහට ලක්වුවාය. මේ ඇය ABC පුවත් සමග සිදුකල සාකච්ඡාවෙන් සකස් වු ලිපියකි.


ලේඛිකාවක් නැත්නම්  සමාජ ක්‍රියාකාරිනියක් කියන නම් දෙක අතරින් ඔබ, ඔබව හඳුන්වාදෙන්නේ කවුරුන් ලෙස ද ? 

මේ තාක් මං පැමිණි ගමන් මග දෙස බැලුවම  මං හිතන්නේ මේ නම් වලින් මං ගැන හඳුන්වාදීම හරිම නරක බවයි. ලන්ඩනයට ඇවිත් මං දැනට  සතියක පමණ කාලයක් ගතකළා. මේ කාලයේදී මගෙන් ඇහුව මූලික ප්‍රශ්නයක් වුණේ ලේඛකයින් දේශපාලන තේමාවන් ගැන විවෘතව ලියන්නේ ඇයි දැයි ? යන්නයි. සාමාන්‍යයෙන් ලේඛකයින් හැමවිටම නවකතා නැත්නම් දේශපාලන කරුණු වලින් පිරී තිබෙන ලේඛන ලියනවට  වඩා දේශපාලනයට එහා ගිය වෘත්තීමය දේවල්  ගැන ලියවිය යුතු යැයි  විශ්වාසයක් තිබෙනවා. ලේඛකයින් හීලෑ වුණු  ජීවිතයකට සීමා විය යුතු බවත් ඔවුන් විනෝදාස්වාදය සපයන දේවල් ගැන පමණක් ලිවිය යුතු බවට වූ පිළිගැනීම ඒ වගේ කතාවක් කියවෙන්නට හේතු වී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිනියක කියන වචනෙට මං ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතිහාසය පුරාවට එවැනි දේශපාලන දෑ ගැන ලිව්ව හැම ලේඛකයෙකුම දේශපාලනික වශයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වී හිටිය අය විදියට හඳුන්වන්නට පුළුවන්ද ? ‘සමාජ ක්‍රියාකාරිකයෙකු‘ කියන වචනේ ඔවුන් ගැන කියන්න යොදන්නට පුළුවන්ද ?. ඒ ලේඛකයින්ට කුමන හෝ අත්දැකීමකට මුහුණදෙන්නට සිද්ධවෙලා තියෙනවා.

මං හිතන්නේ මේ වගේ ප්‍රශ්න නැගෙන්නට හේතු වෙලා තියෙන්නේ ලේඛකයින් හීලෑ වුණු පිරිසක් විය යුතුයි, හුදෙක්, ඔවුන්  පුංචි සුරතල් සත්තු වගේ වැඩියෙන්ම අලෙවි වන කෘති ලැයිස්තු අතර හා සාහිත්‍ය සම්මාන උළෙලවලට පමණක් සහභාගී විය යුතු අය බවට වූ පිළිගැනීමක් පැවතීමයි.

ලේඛනය නිසර්ගයෙන්ම දේශපාලනික බව ඔබ විශ්වාස කරනවද ? 

ඔව්, අනිවාර්යයෙන්ම, ඉන්දියාවේ, නැත්නම් දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන ලේඛකයෙකු ගැන හිතමු. වර්ණභේදවාද සමයේදී දකුණු අප්‍රිකාවේ ජීවත් වුණු ලේඛකයෙකු නැත්නම් කුල ක්‍රමය වගේ දෙයක් ගත්තම මේ දේවල් අනිවාර්යයෙන්ම දේශපාලනිකයි. ලේඛකයෝ භයානක පිරිසක් බවට පත්වෙමින් සිටිනවා.

ලේඛකයින් හීලෑ සහගත පිරිසක් විදියට ලේඛනයේ නිරත විය යුතු වුවත්  අනිවාර්යයෙන්ම ඔවුන් දේශපාලනිකයි. බහුතර ජනතාව වැඩිවන ලෝකයක් ඇතුළේ අනිවාර්යයෙන්ම මේ ගැන කතාකරන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන ඒකාධිපති පාලනයන් තුළ ට්‍රම්ප්, මෝදි වගේ පිරිස් වල බලය වර්ධනය වන ලොවක් තුළ මේ තත්ත්වය බරපතලයි. ඇත්තටම, වැරැද්ද තිබෙන්නේ මේ මිනිස්සු තුළ නෙවෙයි. වැරැද්ද වී තිබෙන්නේ මධ්‍යස්ථ මතධාරී පිරිසක් විසින් බහුතර ඡන්දයෙන් ඔවුන්ව  තෝරාපත්කර ගැනීම තුළයි.

ඉතිං, මීට එරෙහිව තනිව නැගී සිටින්නට ඉදිරිපත් වෙන්නේ ලේඛකයෙකුම නොවේද ? මොකද, ඔබ ලේඛනයේ නිරත වෙන්නේ බොහොම නිදහස්වයි. උදාහරණයක් විදියට ගත්තොත් අපි සිනමාපටයක් නිර්මාණය කරන්න යනවා නම් ඒ හා සම්බන්ධ මූල්‍ය වියදම් ගැන දීර්ඝ සාකච්ඡා සිදුවෙනවා. නමුත්, ලේඛකයෙකුට එහෙම නැහැ.

ලේඛකයෙකුට තනිව නැගී සිටිය හැකියි. ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ.  මිනිස්සුන්ට අහන්නට වුවමනා නැති කතා ඔහුට කිව හැකියි. ලේඛනය කියන්නේ මෙය බව කෙනෙකු දකින විට ඒක බෙහෙවින් භයානකයි.

නමුත්, අරුන්දතී ඔබ ඔබේ රටේ දේවල් ගැන ලියූ ලේඛනයන් නිසාවෙන් බොහෝ අවස්ථාවලදී විවේචනයට, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අත්දැකීම මොනවගේද ? ඔබේ හිසට එය බරක් වුණාද ?  මානසික පීඩනයක් වුණාද ? 

ඒක එහෙම නොවුණා නම් එවැනි දේවල් රචනා කිරීමේ කිසිම වටිනාකමක් නැහැ. සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදන්න සෙල්ලම් බඩුවක් වගේ රඟපාන්න සිද්ධවීම මගේ හිතට දැඩිව වද දුන්නා. ඒ මා තෝරාගත්තු ජීවිතය යි. තමන්ගේ හඬ අවදි නොකර  ප්‍රබන්ධ රචනා කිරීම කියන්නේ  මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. වෙන්නේ මොකක්ද කියලා මං දැනහිටියා. මං ලියන දේවල් නිසා එවැනි තර්ජන වලට මුහුණපාන්නට වෙන වගත් මනාව දැනහිටියා. අපි ජීවත් වන ලෝකය ඇතුළේ උපාය මාර්ගික වීම කියන්නෙත් ජීවිතයේම කොටසක්. ඉතිං, මේ ජීවිතය තුළදී තරමක බයක් දැනීම ස්වභාවිකයි.

ඔබේ නවතම කෘතිය වන The Ministry of Utmost Happiness දී  කුල ක්‍රමය, කාශ්මීර අර්බුදය වැනි තේමා ගැන අවධානය යොමුකරනවා.  ඔබ නිර්මාණය කළ අංජුම් චරිතය හරහා මේ තේමාවන් ගැන මනාව ගෙනහැර දක්වනවා. අංජුම් – ඇය ද ? ඔහු ද ? 

මේ ගැන කතාබහ කරන්නට කලින් කාශ්මීරය වගේම කුල ක්‍රමය ගැනත් යමක් කිව යුතුයි.  මං මේ දේවල් ප්‍රශ්න විදියට දකින්න අකමැතියි. මේ හැමදේම අපි ජීවත්වෙන සමාජය ඇතුළේ, අපේ හුස්ම තුළ ගැබ්වී තිබෙන දේවල්. ඒ නිසා මේවා ප්‍රශ්න විදියට වෙන්කර දක්වන්නට බැහැ.

නවකතාවක් අතිශය බලගතු ලේඛනයක් වෙන්නෙත් මේ නිසයි. නවකතාවක ගැබ්වී තියෙන දෑ ගැන රැඩිකල් වැටහීමක් ලැබෙන්නේ මේවා තුළ නිරූපණය වී ඇති දෑ එකිනෙක මත රැඳී පවතින්නේ කොහොමද ? යන්න මතයි.

අංජුම් කියන චරිතය ගත්විට ඇය 1950 දශකයේ මුල් භාගයේදී පුරාණ දිල්ලියේදී ෂියා මුස්ලිම් පවුලකට දාව ඉපදුණු චරිතයක්. ඇය ඉපදෙන්නේ  අෆ්තාබ් නම්  පිරිමි දරුවෙකු විදියටයි. ඇගේ මව ඇය පිරිමි දරුවෙකු නොවන බව දැනගන්නේ  ඇය ඉපදී දවසකුත් ගතවුණාට පසුවයි.

ඇගේ මව ඒ ගැන කියන්නේ ‘ගැහැණු කොටසක්‘ ඇය තුළ තිබෙනවා කියලයි. ලිංගිකත්වය ගැන ඇය තුළ තිබෙන සීමාව දිගටම රැඳී පවතිනවා. කාලයත් සමග අෆ්තාබ්, අංජුම් බවට පරිවර්තනය වෙනවා. ටික කලකින් දිල්ලියේ තිබෙන ‘කබ්ගා‘ කියන ස්ථානයට යනවා. උර්දු බසින් මෙහි අදහස වෙන්නේ ‘සතුට‘ යන්නයි. ඇය ජීවත් වෙන්නේ ‘හිජ්රා‘ පිරිස් සමගයි. පූජනීය ආත්මයකින් යුතු සිරුරක් යන්න මෙහි අදහසයි.

ලෝකයට ආගන්තුක වුණු විවිධ ලිංගිකයින්, ආගමික පිරිස් සමග ඇය ජීවත් වෙනවා. මෙතැනට එපිටින් තිබෙන ලෝකය ඔවුන්ට ආගන්තුකයි. අංජුම් හා මෙහි තිබෙන අනෙක් චරිත ගත්විට මොවුන් ගැන එක් නිශ්චිත අනන්‍යතාවක් ගොඩනගන්නට හැකිවෙන්නේ නැහැ. අංජුම් කියන්නේ ඉන්දියාව තුළ අතිශය බියකරු අනන්‍යතාවක් වී තිබෙන මුස්ලිම් කෙනෙක්.

ඒ වගේම ඉන්දියාව 2002 දී ගුජරාටයේදී මුස්ලිම් සංහාරය අවස්ථාවේදී ඇය ඊට අහුවෙනවා. ඇය මුස්ලිම් තැනැත්තියක වුණු නිසාම මෙහිදී පීඩා වින්ඳත් හිජ්රා තැනැත්තියක වුණු නිසා ඉන් මින් මිදී පලායන්නට ඇයට අවස්ථාව ලැබෙනවා. මොකද, හිජ්රාවන් මරා දැම්මොත් අවාසනාව උදාවෙන බවට වූ විශ්වාසයක් ඉන්දියාවේ තිබෙනවා. මෙහි ඉන්න හැම චරිතයක්ම කුලය, ආගම වැනි දේවල් වලට සීමාවී තිබෙනවා. විවිධ මිනිස්සු ඇසුරු කරමින්, විවිධ භාෂාවන් කතාකරන පිරිසක් අතරේ අනන්‍යතා රැසක් කලවම් වුණු සමාජයක් ඇතුළේ අති දරුණු දඬුවම් විඳගනිමින් ඔවුන් ජීවත් වෙනවා.

ඇත්තටම, මේ කෘතිය භීතියෙන් පිරී ගොස් තිබෙන නමුත්, එහි නම The Ministry of Utmost Happiness යන්න තුළ බලාපොරොත්තුවක් ගැන වූ අර්ථයක් ගෙන දෙනවා. ඔබේ නවතම කෘතියට යොදා තිබෙන නම ගැන කිව්වොත් ?

භීතිය පමණක් ගැබ්ව තිබෙන කෘතියක් තරමක් නීරස විය හැකියි. හැම පොතක්ම අනිවාර්යයෙන්ම  සුන්දර විය යුතු බව මා හිතන්නේ නැහැ. මේ කෘතිය ගත්විට එහි ආදරය, කවිය, සංගීතය, හාස්‍යය මේ හැමදෙයක්ම ගැබ්වී තිබෙනවා.  විශේෂයෙන්ම, මෙහි මවා තිබෙන චරිත කෙතරම් පහළ මට්ටමේ ජීවිතයක් ගතකළත් කෘතිය අවසානයේදී මෙහි සිටින චරිත හරහා මතුකරන හාස්‍යය වැදගත්.

මා ජීවත් වුණු තැනද මේ වගේ දේවල් වලට බොහෝ දුරට සම්බන්ධ වුණු තැනක්. ප්‍රතිපත්තිමය හෝ සම්මුතිගත දෑ ගැන අවධානයට ලක්කිරීම අතිශය පීඩාකාරියි. නමුත්, ජීවිතයේ අන් වෙන කිසිවක් තෝරාගන්නට නොහැකි නමුත්, නොමැරී ජීවත්වෙන්නට සිද්ධ වෙන කෙනෙක්, තමුන් වැනිම වූ අනෙකුන් ගැන හාස්‍යය මවා තිබෙනවා. හැමවිටම බලාපොරොත්තු විරහිත බව පමණක්ම මවාපෑමට අපට බැහැ- බලාපොරොත්තුව ගැනත් කියන්නට සිද්ධවෙනවා. ඒ වගේම හැමවිටම බලාපොරොත්තුව ගැනත් කියන්න බැහැ – බලාපොරොත්තු කඩවීම ගැනත් කිවයුතුයි. හැමදේම අනික් සියලු දේ සමග වෙන් වී තිබෙනවා. කාලයත් සමග ගුජරාටයෙන් නික්මී එන අංජුම් තමන්ගේ ජීවිතේ ගතකරන්නට අන් කිසිම මගක් නැතිව සොහොන් බිමක ජීවත්වෙන්නට යනවා.

ටික කලකින් ඇය ඒ ජීවිතයට හුරුවෙලා අවසානේදී ඒ සොහොන් බිමේ තියෙන එක් එක් සොහොන් ගැබවල් යොදාගනිමින් ඒවා කාමර ලෙස භාවිත කරමින් ලැගුම් හලක් පටන්ගන්නවා. නොපැහිදිලි මරණය සටහන් වී තිබෙන ජීවිතයක්, ධෛර්යයෙන් හා බලාපොරොත්තුවෙන් වෙනස් වෙන්නේ කෙලෙසින්ද යන වල මින් හඳුනාගන්නට හැකියි. මියයන අය, සොහොන් බිමේ වැළලූවන් මේ සොහොන් බිමේ ජීවත්වෙන්නට පැමිණෙනවා. හින්දියෙන් ඇසෙන ගායනා, ඉංග්‍රීසියෙන් ඇසෙන ශේක්ෂ්පියර්ගේ කවි වගේ දේවල් හරහා එක්තරා විදියක විප්ලයක් දැකගන්නට හැකියි.

ඔබ පහුගිය වසර 20 පුරාම ඔබ කිසිම නවකතාවක් රචනා කළේ නැහැ. මේ නිහඬ කාලය ගැන සිහිපත් කළොත් ?

ඇත්තටම ඒ කාලය තරමක විරාමයක් ගත් කාලයක් විදියට හඳුන්වන්නේ නැහැ. The God of Small Things පසුව පවා මං හුදෙක් නවකතා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවට පත්වෙනු ඇති බව හිතුවේ නැහැ. . The God of Small Things 2 නමින් කෘතියක් නොඒ යැයි මා හිතුවේ නැහැ. මට තවත් නවකතාවක් ලියන්න සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මා එය ලියාවි යැයි හිතුවා.

මේ නවකතා ද්විත්වය තරමක විශ්වීය බවක් නිර්මාණය කළා. අත්දැකීම් රැස්කරගෙන, ලෝකය ගැන තේරුම් ගෙන නවකතාවක් රචනා කරන්න තරමක කාලයක් ගතවෙනවා.

මෑතකදී දිල්ලියේදී මගෙන් කෙනෙකු ඇහුවා මං The God of Small Things නවකතාව කියෙව්වා. නමුත්, අරුන්දතීට ආයේ කවදාවත් නවකතාවක් ලියන්නට නොහැකි වේ යැයි මං හිතුවා. මට කතාකරපු ඒ තැනැත්තා කිව්වේ ඔබ මේ කෘතියට හැමදේම ඇතුළත් කර තිබෙනවා කියලයි. ඉන් වසර 20 කට පස්සේ නැවතත් The Ministry of Utmost Happiness කෘතිය තුළත් ඔබ ඒ උත්සාහයම ගෙන තිබෙනවා යන්නයි.

ඉතිං මං ඔහුට කිව්වේ සමහර අවස්ථා වලදී අපිට මරාගෙන මැරෙන බෝම්බකාරයෙකු වගේ ලියන්න සිද්ධවෙන බවයි. අපි ළඟ තියෙන හැමදේම අපේ නිර්මාණය තුළට යොදලා ඊටපස්සේ, නැවත අපිවම සොයාගන්නට සිද්ධවෙනවා. කිසිම මොහොතක අප සතුව තිබෙන දේවල් බැංකු ගිණුමක දාලා සුරක්ෂිත කරගෙන ඉදිරියේදී පාවිච්චියට ගන්නවා වගේ වැඩක් කරන්නට බැහැ. අපි සතුව තිබෙන හැමදේම නිර්මාණයකට දෙන එකත් එක්තරා විදියක අවදානමක්. හැබැයි, මේ අවදානම අරගෙන ආයෙමත් ජීවත් වෙන්න සිද්ධවෙනවා. ඊට පස්සේ වෙනත් විශ්වයක් නිර්මාණය කරන්නට ඔබට හැකියි. මේ බව කියන්න අලුත් භාෂාවක් හොයාගන්නට සිද්ධවෙනවා. පවතින භාෂාවම නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා පාවිච්චි කරන්නට හැකිවෙන්නේ නැහැ.

ඊයේ මම The Ministry of Utmost Happiness කෘතියේදී මං යොදාගත්ත භාෂාව ගැන දේශනයක් කළා. The God of Small Things කෘතියේ භාෂා භාවිතය හා The Ministry of Utmost Happiness භාෂා භාවිතය ගැන මෙහිදී විස්තර කළා. මේ කෘතිදෙකේදී භාවිත කරපු භාෂාව ගැන කිව්වොත් ඒ අත්දැකීම හරියට උසින් වැඩි ගොඩනැගිල්ලක ඉඳන් යටින් තියෙන සොහොන් භූමියක තියෙන පුංචි පුංචි කෑලි අහුලනවා වගේ වැඩක්.

ඔබ වසර 20 ක් පුරාවට නවකතා නොලිව්වත් වෙනත් ලේඛනයන් සමගින් කාර්යබහුල වී සිටියා.  ඇත්තටම, ඔබට නවකතා අතිශය වැදගත් මාධ්‍යක් වන්නේ ඇයි ?

නවකතාවකදී මගේ හැම හැකියාවක්ම ඊට යොදවනවා. නවකතාවක් නොවන යමක් මගේ අතින් ලියවෙනවා නම් අනිවාර්යයෙන්ම එය විවාදාපන්න කාරණයක්, නැත්නම් මැදිහත්වී පැහැදිලි කිරීමක් කළ යුතු කාරණයක් හෝ විශේෂයෙන් සොයා බලා ප්‍රතිචාර දැක්විය යුතු කාරණයක් විය හැකියි. මේ හැමදේම තුළ හඳුනාගන්නට හැකිවෙන්නේ කඩිනමින් ලිවිය යුතු ලේඛනයක් යන්නයි.

ප්‍රබන්ධ රචනා කලාව මට දැනෙන්නේ එක්තරා විදියක නැටුමක් වගෙයි. මට ලියන්න ඕන වෙන කිසිම දෙයක් නොවන නමුත්, නවකතා පමණක්ම වන දෙයක්. ඒ ලියැවෙන දේ නෙට්ෆිලික්ස් කතා මාලාවක් නොවෙයි. නවකතාවකටම පමණක් කළ හැකි දෙයක් මා ලියන නිර්මාණය තුළින් බිහිවිය යුතුයි. The Ministry of Utmost Happiness නවකතාවක් වන්නේ ඒ නිසයි. මොකද ඒ තුළින් ඉදිරිපත් වී තිබෙන්නේ නවකතාවකින් ලියැවිය යුතු දේවල් පමණක්මයි. කාශ්මීර අර්බුදය ගැන කතා කරන්නට හැකිවෙන්නේ සාහිත්‍ය නිර්මාණයකින් පමණක්මයි. ඇමෙනෙස්ටි ජාත්‍යන්තර වාර්තා වලින් පමණක් ඒ ගැන කියන්නට බැහැ.

මං නවකතා වලට බෙහෙවින් ඇළුම් කරන්නේ ඒ නිසයි. නවකතාවකින් කරවන්නට හැකිවෙන්නේ එයම පමණයි. අපි නවකතා ගැන හිතාගෙන ඉන්න අදහස බිඳදමන්නට හැකිවෙන්නේ එබැවිනුයි.

The Ministry of Utmost Happiness නවකතාව ලියැවෙන්නේ කොහේදීද ?

මං ජීවත්වෙන්නේ නව දිල්ලියේ. මං හැමවෙලාවෙම ලියනවා. හුස්ම ගද්දි, ඇවිදිද්දි, එළවළු ගද්දි මේ හැමවෙලාවෙම මං හිතනවා. දිල්ලිය පුරාම එක එක තැන් තිබෙනවා, දිල්ලිය මගේ ලේඛන අවකාශය බව මගේ විශ්වාසයයි. බොහොම ව්‍යාකූල පරිසරයක් ඇතුළේ වුණත් මං ලියනවා.

ඒ කියන්නේ ඔබට නිර්මාණකරණයේ යෙදෙන්න අතිශය සාමකාමී, නිහඬ පරිසරයක් ඕන නැහැ ?

නැහැ, මට ලේඛනයේ යෙදෙන්න ලස්සන, නිහඬ පරිසරයක් වුවමනා වෙන්නේ නැහැ.

මේ වෙද්දි මොනා හරි ලියනවද ?

ඇත්තටම නැහැ, මේ වෙලාවේ මං ඔබත් එක්ක කතාකරනවානේ ?  (සිනහවෙමින්)

ඔබ අවුරුදු 20 කට පස්සේ ආයෙමත් නවකතාවක් ලියාවිද ?

හ්ම්, කවුද දන්නේ ?, ඒ ගැනනම් මං දන්නෙත් නැහැ. වසර 20 න් 20 ට යන මොකක්දෝ අනුපිළිවෙලක් තියෙනවා. ඉක්මනටම තවත් නිර්මාණයක් ආවොත් හැමෝම පුදුම වේවි. ගණන් ගන්න එපා. මේක විහිළුවක් විතරයි. (සිනහවෙමින්)

ඉන්දියාවේදී  මේ කෘතියට මොනවගේ ප්‍රතිචාර ලැබේවිදැයි මං තරමක් වද වෙනවා. ඒක භාෂාවන් 46 කට පරිවර්තනය වේවි. ඉක්මනටම තවත් නිර්මාණයක් කිරීමේ වුවමනාවක් මට නැහැ. මං තවත් ලෝකයකට යන්න කලින්, නැත්නම් මේ පොතේ තියෙන ජනට් ලැගුම්හලට (සොහොන්බිම) යන්න කලින් පොත්  මෙච්චර ගාණක් ලියන්න ඕන කියලා අදහසක් මට නැහැ.

 

අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත් 

Share this

Related posts