‘ජනාධිපති උපදේශක’ පට්ටම මට ලැජ්ජාවක් : අතුරලියේ රතන හිමි

තමන්ගේ නමට ඉදිරියෙන් ඇති ‘ජනාධිපති උපදේශක’ තනතුර ගැන තමන් ලැජ්ජා වන බවත් ජනාධිපති උපදේශක යන නාමය තිබ්බද තමන්ගෙන් කිසිම ‘උපදේශයක්’ ලබා ගත්තේ නැති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

රතන හිමියන් එසේ පැවැසුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ 28 වන සෙනසුරාදා දින පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වෙමින් ය.

ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ නිර්මාතෘ නන්දසිරි ගමගේ යන අයගේ උපදෙස් මත මෙම සංවත්සරය සංවිධානය කර තිබුණි.

කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද යන්න රජයෙන් ප්‍රශ්න කරන හිමියෝ පැවසුවේ මීට පෙර එජාපය හා ශ්‍රී ලනිපය වෙන වෙනම සොරකම් කළ බවත් දැන් දෙගොල්ලම එකට එකතු වී සොරකම් කරන බවයි.

‘මුළු රජයේ ණය ප්‍රමාණය මිලියන 7,390යි. අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 70ක් ණය ගෙවන තත්ත්වෙට පත්වෙලා’ යනුවෙන් හිමියෝ අපේ රටේ පාලකයෝ ගස්වල කොළ ගාණට වරින් වර ණය ගන්නා බවට පැවසුහ.

‘මනුස්සයෙක් දවසකට රුපියල් 1,000ක් උපයනවා නම් ඒකෙන් රුපියල් 700ක් ණය ගෙවන්න වෙලා. අපේ පාලකයෝ සංවර්ධනය කරනවා කියලා කරල තියෙන්නේ අපේ මුළු රටම ණයකාරයෝ ඉන්න රටක් බවට පත් කරපු එක. ඒ පාලකයෝ හිතාගෙන ඉන්නෙ ණය ගන්න මහා ලොකු හපන්කමක් කියලා. එක එක රටවලින් ණය අරගෙන මෙහේ ඇවිල්ල මහ උජාරුවට කියනවා. ඊට පස්සේ ජනතාවට කියනවා දැන් බැංකුවේ සල්ලි තියෙනවා. දැන් ඒක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා කියලා. මේව පට්ටපල් බොරු. රට සියයට 70ක් ණය කරල නම් ඒ රටේ ඉරණම මොකක්ද?’ යනුවෙන් හිමියෝ එහිදී කියා සිටියේ ය.

රටේ පාලකයෝ මහා ලොක්කෝ වගේ පෙනුණත් කොම්පැනි දහයක් රට පාලනය කරන බවත් තෙල් සහ අඟුරු නිසා ඇති වු විපර්යාස හේතුවෙන් ලෝකයම පාරිසරික විනාශයකට මුලපුරා ඇතැයි ප්‍රකාශ කළේය.

Related posts