තලවකැලේ – ලිඳුල නගරසභා සභාපතිගේ පැහැර ගැනීම් මිනිස් ජාවාරම් ස්ත්‍රී දූෂණ පොලිසිය යටගසයි ?

තලවකැලේ නගරයේදී දෙදරු මවක් ඇයගේ දරු දෙදෙනා සමඟ පැහැරගෙන ගොස් මිනිස් ජාවාරමේ යෙදීම සහ එක් සැකකරුවකු අතින් මව දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ලිඳුල- තලවකැලේ පුරපති අශෝක සේපාල,ලිඳුල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක,ආගරපතන ප්‍රධාන පාරේ ඔරුකඳ ලිපිනයේ ජයන්ත,තලවකැලේ ලෝගි නිවාසවල පදිංචි එච්.එම්. තිලකරත්න යන අය නුවරඑළිය පොලිසිය විසින් ජුනි 03 වනදා රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත්තේය.

ඒ, එම පැහැරගැනීමට ලක්වූ කාන්තාව වන ආගරපතන, ග්ලෝඩ්මෝර්වත්තේ, ග්ලන්කන් කොටසේ පදිංචි 26 හැවිරිදි ගෞරි සසිකලා නැමැත්තිය විසින් (3) දින නුවරඑළිය පොලිසියේ ළමා හා කාන්තා අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ය.

2017 ජුනි මස 4 දින පස්හැවිරිදි තම දියණිය සහ අවුරුදු 2 1/2ක් වයසැති පිරිමි දරුවා සමඟ ආගරපතන සිට බස් රථයකින් තලවකැලේ නගරයට පැමිණ සිටියදී තමන් සහ දරු දෙදෙනා ත්‍රීවීල් රථයක නන්වාගෙන පැහැරගෙන ගියේ යැයි පවසා ඇය නුවරඑළිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීම පිළිබදව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඒ. ආර් 1291 දරන නඩුව කැඳවූ දිනයෙදි අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අදාළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.පරිවාස වාර්තාවක් ලබා ගන්නා තෙක් අදාළ දැරිය නුවරඑළිය එස්.ඕ.එස්. ළමා ගම්මානයේ තැබීමටත්,ආදාල දුරකථන වාර්තා ලබාගන්නා ලෙසත් නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසෙකර 4වැනිදා නියෝග කර තිබේ.

එහෙත් මේ වන තෙක් නුව‍රැළිය පොලිසිය විසින් දැරියගේ පරිවාස වාර්තාව සහ දුරකථන වාර්තා ලබාගෙන නැතැයි නීතිඥ එස් මොහන්රාජ් ‘අකුණ’ ට පැවසීය.

2017 වර්ෂයේදී තම දරු දෙදෙනා හා බිරිද පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වූ ජෙගදිස්වරම් මේ පිළිබදව ළමා හා කාන්තා කාර්යංශයට මෙන්ම අදාළ සියලු අංශ වෙතද පැමිණිලි කර ඇතත් කාන්තාවගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් පොලිසිය දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. ඒ අවස්ථාවේ සිට මුදල් අය කිරීමකින් තොරව අසරණ ජනතාව වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිඥ එස් මොහන්රාජ් පෙනී සිට තිබේ.

පොලිසිය මෙලෙස අධිකරණ නියෝග පැහැර අරින්නේ මන්දැයි සැක සහිත බවයි නීතිඥ එස් මොහන්රාජ් ‘අකුණ’ ට වැඩිදුරටත් පැවසුවේ.

අසෝක සේපාල පුරපතිවරයා හිටපු ඇමතිවරයකු වන සී.බී.රත්නායකගේ ගෝලයෙකු වීමත්,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සභිකයකු වන ඉෂාර අනුරුද්ධ මන්චනායකද දේශපාලන බලපුළුවන්කාරකම් ඇති අය නිසා දැයි නුවරඑළිය ‘පොලිසිය තමන්ගේ වගකිම අහිංසක ජනතාවගේ ඔළුවට සෝදන්නේ’ යන්න ප්‍රශ්නයකි.

තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල ස්වාධින කණ්ඩායමකින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ නමුත් ඔහුව නැවත නගරාධිපති ධූරය සඳහා යෝජනා කර සිටියේ ලංකා පොදුජන පෙරමුණේ මයිල්වාගනමි පරමනාදන් විසින්ය.

සැකකරුවන් විසින් තමන්ව පැහැරගත් දින සිට දින කීපයක් තැන් තැන්වල රඳවාගෙන සිටි බවත්,සැකකරුවන්ගේ අනුදැනුම පිට දැරිය ගාල්ල ප්‍රදේශයේ යුවළකට හදාවඩා ගැනීමට දී තිබු බවත් ඇය පැමිණිල්ලේ දී කියා ඇති අතර තවද තමන්ව විදෙස් ගත කරන්නේ යැයි පවසා රඳවාගෙන සිටින අතරතුරේදී එක් සැකකරුවකු ඇයට තර්ජනයකොට ඇයව දූෂණය කර තිබෙන බවටද පැමිණිල්ලේ සඳහන් වෙයි.

සැකකරුවන් විසින් ඇයව විදෙස් ගත කරනවා යැයි පවසා රදවාගෙන සිටියත් පසුව එයට බාධාවක් වු ඇය සමග සිටි පිරිමි දරුවා සැකකරුවන් විසින් තලවකැලේ පතන ප්‍රදේශයේ විහාරස්තානයකට සැලසුම් සහගතව ගෙනවිත් දමා තිබේ.

මේක අවුරුද්දක් තිස්සේ අධිකරණ ක්‍රියාමාර්ගයක් පැවැතුණු සිදුවීමක් මේ ළමයි දෙනනයි කාන්තාවයි අතුරුදහන් වෙන්නේ 2017 මැයි මාසේ. ඒ ඉදලා මේ වෙනකම් කිසිම තොරතුරක් තිබුණේ නැහැ. මේ පිටුපස හෙළිදරව් නොවුණු විශාල කතාවක් තියන බව පැහැදලියි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන සිදු විය යුතුයි. විත්තිකරුවන් කෙතරම් බලවත් වුවත් අගතියට පත් අයට යුක්තිය ඉටු කරදීම සියලු පාර්ශ්වවල වගකීමක් යැයි මෙම සිදු වීම සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිඥ ඒස් මොහන් රාජ් පැවසීය.

සැබැදි පුවත් :

පොහොට්ටු නාගරික මන්ත්‍රී ළමුන් ජාවාරමේ

ලිඳුල ළමුන් පැහැර ගැනීම පිටුපස ළමා ශ්‍රමිකයන් සැපයීමේ ජාවාරමක් නීතිඥ මෝහන් රාජන්

 

 

 

Share this

Related posts