පරිකල්පනය එක්තරා විදියක පුහුණුවක්, සමහර විට මානසික රිදවාගැනීමක්.. |Stephen King|

සුප්‍රකට The Dark Tower කතා මාලාව, Stand by Me,The Shawshank Redemption, and The Mistආදියේ රචකයා වන ස්ටීවන් වයස අවුරුදු 18 දී පමණ ඉඳන් මත්පැන් වලට දැඩි ඇල්මක් දැක්වූවෙකි. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ඔහු විසින් නවකතා 54 ක්, කෙටිකතා 200 කට අධික සංඛ්‍යාවක් ලියැවී ඇත. කලාවට කළ මෙහෙවර අගයමින් ඇමරිකාවෙන් පිදෙන ජාතික පදක්කම ද, ලෝක ෆැන්ටසි සම්මානය, බ්‍රෑම් ස්ටෝර්කර් සම්මානය ආදිය හිමිකරගන්නට සමත් වුණු ස්ටීවන්‘‘මරිජුවානා නීතිගත කළ යුතු අතරම එය කර්මාන්තයක් බවට ද පත්කළ යුතුය‘ යන ස්ථාවරයේ පසුවූවේය.

ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයෙකු ලෙස පසුකාලීනව දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙකු බවට පත්වෙන ස්ටීවන් සිය අතීතය ගැන ප්‍රසිද්ධියේ අනාවරණය කරන්නේ 2014 වසරේදී රෝලින් ස්ටෝන් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදීය. පහතින් පළවන්නේ ඉන් උපුටාගත් කොටස් කීපයකි.

උදේ අවදි වුණු වෙලාවේ ඉඳන් ඔබ ලේඛනයේ යෙදෙන්නේ කොහොමද ?

සාමාන්‍යයෙන් මං උදේ කෑම අරගෙන හැතැප්ම තුනහමාරක් විතර ඇවිදිනවා. ආපහු ඇවිල්ලා මගේ ඔෆිස් කාමරයට වැදෙනවා. මං ලියන හැම ලේඛනයක්ම තියෙන්නේ මේ කාමරයෙයි.  අවසානෙටම යොදපු සටහන මේ ලිපි ගොනුවේ උඩින්ම තියෙනවා. බොහොම ආසාවෙන් මේ කඩදාසි කොළේ දිහා බැලුවත් ඒ හැඟීම හරියට ටැක්සියක ගමනක් යනවා වගෙයි. ලියලා නවත්වපු දේවල් ආපහු කියවලා ඒකේ සමහර තැන් සංස්කරණය කරලා රසිකයින් අතට පත්කරන්නට උත්සහ ගන්නවා. මුළු දවසෙම ලේඛනය වෙනුවෙන් යොදවන්නේ නැහැ. සමහරවිට පැය දෙකක් විතර ලියලා ඒක කපලා කොටලා මුද්‍රණය කරලා තියාගන්නවා.

දිනපතාම ලේඛනයේ යෙදෙනවාද ?

ඔව්, හැමදාම. ඒ වගේම හැම සති අන්තයකමත් ලේඛන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මම වේගයෙන් ලියනවා. වයස්ගත වීමත් සමග ලියන වේගය අඩු වෙනවා

ලේඛනය ඇබ්බැහියක් බව ඔබට දැනෙනවද ?

ඔව්, ඇත්තටම. මේ වෙද්දි බොහොම අඩුවෙන් කරලා නමුත් හොඳ ප්‍රතිඵලයක් කාර්යයන් කීපය අතරින් එකක්. සාමාන්‍යයෙන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා ටික වෙලාවක් ගතවෙද්දි ඒ බව දැනෙන්නේ අඩුවෙන්. ඒකත් හොඳ දෙයක් වුණාට ඇත්තටම ඒක හිතට තදින් බලපාන අතහරින්නට නොහැකි හැසිරීමක්. මාස හයක් තිස්සේ එකම දේ ලියලා ඒකෙන් පුංචි දෙයක් එළියට ගන්නට හැකියි. ඊට පස්සේ දවස් 10-12 ඇතුළත හැමදේම ඉවරයක් කරන්න උත්සහ ගන්නවා. ඒත්, මේ කාලය ඇතුළතදී මගේ බිරිඳත් පිස්සු වැටෙනවා.  

‘ගෙදරින් එළියට යන්න, එළියට ගිහිං මොනාහරි කරන්න කියලා ඇය කෑගහනවා. ඉතිං මම ටීවී බලනවා. ගිටාර් එක ප්ලේ කරනවා. අවසානේ රෑට නින්දට ගියාම පිස්සු විකාර හීන පේන්න ගන්නවා. කතන්දර ලියන්න අපි ළග තියෙන යාන්ත්‍රික ක්‍රියාවලිය නතර වෙලා නැතිනිසා ඒවා බොහොම සුන්දර විදියේ හීන වෙන්නේ නැහැ

පරිකල්පනය මිනිස්සුන්ට වඩා සක්‍රීය බව ඔබ හිතනවාද ?

මං දන්නේ නැහැ. ඒක එක්තරා විදියක පුහුණුවක්. පරිකල්පනය කරන සමහර දේවල් නිසා රිදෙන්න ගන්නවා. සමහරවිට, අපේ ඔළුව වුණත් රිදෙන තත්ත්වෙට පත්වෙනවා. ශාරීරික වේදනාවන් නැතිවුණත් මානසික වශයෙන් රිදවීම් වලට ලක්වෙනවා. හැම මිනිහෙක්ටම ඒ දරාගැනීමේ හැකියාව තිබුණත් හැම කෙනෙක්ම ඒ තරම් දියුණු තත්ත්වෙක ඉන්න බව විශ්වාස කරන්නේ නැහැ.

ඔබ කියන කතාව ඇත්ත වුණත් ඔබ තරම් අපූරු පරිකල්පන හැකියාවක් අන් අයට නැහැ ?

කොලේජ් යන කාලේ ඉඳන් නවකතා හා වෙනත් කතා ලිව්වා මට මතකයි. මේ අතරින් සමහර ඒවා මුද්‍රණය කෙරුණා. සමහර ඒවා කවදාවත් මුද්‍රණය වුණේ නැහැ. සමහර වෙලාවට කියාගන්න ගොඩක් දේවල් මගේ ඔළුව ඇතුලේ තිබුණා, ඒ වගේ අවස්ථාවකදී ඔළුව පුපුරාවි කියලත් හිතුණු අවස්ථා තියෙනවා. මේ හිතුවිලි වලට එළියට එන්න අවසරයක් ඕන බව වගේ හැඟීමක් හැඟුණා. ඔළුවේ හිරකරගෙන ඉන්න කතන්දර එක පාර එළියට ආ යුතු බවත් තව බොහෝ දෑ හිතේ තිබුණත් ඒවා එළියට නොආ බව හැඟුණා.  

ඔබ නිර්මාණය කළ Jamie චරිතය ගැන සිහිපත් කළොත් ?

Jamie මෝටර් සයිකල් අනතුරකින් පස්සේ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙනවා. මටත් ඒ විදියේ දැඩි ඇබ්බැහියක් තිබුණා. මට මතක විදියට කොලේජ් කාලේ ඉඳන්ම මට මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්න තිබුණා.

මං බොන්න පටන්ගත්තේ අවුරුදු18 දී යි. ආපසු ලබාදිය හැකි මත්පැන් ටින් හා බෝතල් සම්බන්ධ නීතිය ඉදිරිපත් කළ පළවෙනි ප්‍රාන්ත රජය Maine බවට පත්වුණු කාලේ ඉඳන්ම මේ දැඩි ඇබ්බැහිය තිබුණා. ගෙදර වෙන කිසිම කෙනෙක් බොන්න ඇබ්බැහි වෙලා තිබුණේ නැහැ. මං විතරයි. මගේ බිරිඳ පානය කළේ වයින් විතරයි. ඒ 78 – 79 විතර කාලේදී. මොකද ඒ කාලේ අලුත් නීතියක් ගෙනාවා හිස් වුණු මත්පැන් බෝතල් ආපහු අරගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දානවා කියලා. ඉතිං, මං එක දවසක් බියර් කෑන් ගොඩගහලා තියෙන ගැරේජ් එකට මහ රෑ ගිහිං බියර් කේස් එකක් විතර බිව්වා. ‘මං බේබද්දෙක් නේද ? ‘කියලා මට හිතුණා. කවුරු හරි මට කිව්වා නම් මං වැඩියෙන් බොනවා කියලා ඒ කතාව නවත්තලා දාලා මං කියාවි මට ඔය පුරුද්ද අතෑගන්න බැහැ කියලා.

මේ ඇබ්බැහිය අතරට සැර මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද ?

1978 දී හෝ ඊට ආසන්න කාලයේදී මට තේරුම් ගියා බොද්දි මට පාලනයක් නැති බව. මගේ විශ්වාසය වුණේ මේ ඇබ්බැහිය මට පාලනය කරගන්නට හැකි වේවි කියලා. නමුත්,ඇත්ත වුණේ මට කොහොමටත් මේක පාලනය කරගන්න නොහැකි වුණු එකයි.

ඔය ඔබ කියන්නේ කොකේන් ගැන ?

ඔව්, කෝක්. 1978-1986 කාලේ විතර වෙන තෙක්ම මං දැඩිව ඇබ්බැහි වෙලා හිටියා

ඔබ කොකේන් ගැන ලිව්වද ?

ඔව් ඇත්තටම. වෙරිවෙනතෙක් බීම හා කෝක් අතර වෙනසක් තියෙනවා. බීලා වෙරිවෙනකල් මට ඉන්න පුළුවන්. නැත්නම්, කිසිම දෙයක් නොබී ඉන්නත් පුළුවන්. ඒත්, මං නිතරම කෝක් පාවිච්චි කළා.

ඒ කාලේ ඔබේ දරුවන්ගේ කුඩා අවදිය. ඔබේ හැම වගකීමක්ම ඉටුකරන අතරතුරදී මේ රහස රැකගෙන හැමදේම සමබරව කරගෙන යන්න ඔබේ හිසට වදයක් වෙන්න ඇති ?

මට මතක නැහැ.

ඇත්තද ?

මොකද ඒ කාලේ ගැන පැහැදිලි මතකයක් මට නැහැ. ගොඩක් මිනිස්සු එක්ක කාලය ගතකළේ නැහැ. ඒ වගේම මම කල්ලි ගැහිලා බොන කෙනෙක් නෙමෙයි. මං වගේම බූරුවන්ගෙන් බාර් පිරී ඉතිරී ගිහිං තිබුණු නිසා මං ඒවට ගියෙත් නැහැ.  

මං තාමත් උත්සහ ගන්නේ ඔබ මීට පෙර පැහැදිලි කරපු මත්පැන්, මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වී හිටිය වසර 8 ක කාලය ගැන තේරුම්ගන්නයි.

හොඳම අලෙවියක් ඇති කෘතීන් රචනා කරන අතරතුර පවුල ගැන නිතරම හොයා බලන කෙනෙක් විදියට මේ කාලය ගතවුණු අන්දම ගැන ආයෙත් සිහිපත් කළොත් ?

ඔව්, ඇත්තටම මට ඒ ගැන මේ මොහොතේදී නිශ්චිතව කියන්න බැහැ. නමුත්, එවැනි අවස්ථාවකදී ඔබ ඔබට අවැසි දේ කරනවා. නමුත්, ඊට ඇබ්බැහි වෙද්දි තව තවත් ඒවා පාවිච්චි කරන්න හිතෙනවා. පුළුවන් හොඳම විදියට මේ දේවල් සමබර කරන්න ටිකෙන් ටික උත්සහ ගන්නවා. පවුල් ජීවිතේ පළුදු වෙන්න ගන්නවා.

ඒත්, මං සෑහෙන තරමින් හොඳ කෙනෙක් වුණා. උදේ නැගිටලා දරුවන්ගේ කෑම හදලා ඔවුන්ව පාසලට රැගෙන යනවා. ඒ කාලේ මං බොහොම ශක්තිමත්. දැවැන්ත ශක්තියක් මට තිබුණේ නැත්නම් සමහරවිටත් මං සියදිවි නසාගෙන. ඒත්, ලේඛනය සිද්ධවෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. මා ලියූ Misery කෘතියට පදනම් වෙන්නේ එවැනි කොකේන් ගැන කතාවක්. ජනප්‍රිය ලේඛකයෙකුව සිරකරුවෙකු විදියට රඳවාගෙන සිටින  Annie Wilkes කියන රසිකාවියක් ගැන මේ කෘතියේ ලියැවී තිබෙනවා.

ඔබේ කෘතීන් ඇසුරින් නිර්මාණය වූ සිනමාපට වලින් වඩාත් ඇළුම් කරන නිර්මාණ ගැන අවසාන වශයෙන් දැනගන්න කැමතියි ?

මං හිතන්නේ Stand by Me. මෙහි තිබුණු භාවාත්මක ගතිය නිසා මගේ කෘතියට මින් සාධාරණයක් ඉටු කළ බව විශ්වාස කරනවා. මං වෙන කටයුත්තකට බෙවර්ලි හිල්ස් හෝටලයට ගිය අතරතුරදී රොබ් රේනර් මේ චිත්‍රපටය මට පෙන්නුවා. ඔහු මගේ කතාව විකෘති කරලා ඇති බව හිතා මං මුලින් බියවුණා. හෝටලයේ ඉන්න අතරතුර මං ළඟට ආව රොබ් ‘ඔබට මේ සිනමාපටය බලන්න එන්න පුළුවන්ද ?‘ කියලා මගෙන් ඇහුවා. සිනමා ශාලා හයක පමණක් ප්‍රදර්ශනය වෙන්න තිබුණු මේ සිනමාපටය නොහිතුව විදියට පැතිරිලා ගියා. මේ සිනමාපටයේ තිබුණු ස්වයංචරිතාපදාන ස්වරූපය නිසාම රොබ්ව වැළඳගත්ත මට ඇඬුම් ආවා. ඒත්, Stand by Me, Shawshank Redemption වගේම Green Mile සිනමාපටයත් අතිවිශිෂ්ටයි. Misery වගේම Delores Claiborne හා Cujo චිත්‍රපටත් විශේෂයි.

2014 ඔක්තෝබර් මස දී රෝලින් ස්ටෝන් (Rolling Stone) සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව

අනුවර්තනය – වින්ධ්‍යා ගම්ලත්

 

 

Share this

Related posts