“ජාතීවාදයට එරෙහි වීමේ පව හිපොක්ක්‍රටීස් ප්‍රතිඥාවට වඩා ප්‍රබලයි”

(පලමු කොටස)    දෙවියන් වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා. 

වර්ෂ 2007 දී  හදිසි නීති රෙගුලාසි යටතේ හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත්ව 2014 ඔක්තෝම්බරයේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස ලැබූ  සහන් හේවාදලුගොඩ යන රැදවියා සමග කල සාකච්චාවේ   දෙවන කොටස. 

ඔබ සමග පහර කෑ කිසිවෙකුට ප්‍රතිකාර ලැබුනේ නැද්ද ?

දරුනු විදියට වද බන්දනයට ලක් වුන අය රෝහල් ගත කරොත් ඒ දේවල් සටහන් වෙනව රෝහල් වාර්තා වල. සැක කරුවන්ගේ නඩු විභාග වලදි ත්‍රස්ත විමර්ශන නිලධාරීන් බලහත් කාරයෙන් ගන්න ප්‍රකාශ(පාපොච්චාරණ) අභියෝගයට ලක් වෙනව එවැනි වාර්තා මගින්. ඒ හේතුව මත ඔවුන් මොනම හේතුවක් නිසාවත් පහර දුන් පසු රෝහල් ගත කරන්නේ නෑ සැක කරුවන්ව. අපිට පහර දුන් පසු අදිකරණ වෛද්‍ය වරයට ඉදිපත් කරෙත් අපේ සුබ සිද්දිය නිසා නොවෙයි. පාපොච්චාරණය ගැනීමේ ක්‍රියාවලියෙ කොටසක් විදියට සැක කරු යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්න බවට සහතිකයක් අවශ්‍ය වන නිසයි. නිසි ආකාරයට නම් පාපොච්චාරණය ගැනීමට පෙරත් එසේ ගත් පසුත් නැවත අදිකරණ වෛද්‍ය වරයාට පමුනුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් රැදවියා පසුවන බව සහතික කල යුතුයි. මගේ අත් දැකීම නම් ත්‍රස්ත විමර්ශන නිලදාරීන් කරන්නේ ඔවුන්ට හිතවත් යාන්ත්‍රනයේ අදිකරණ වෛද්‍ය නිලදාරීන් ලවා පෙර සහ පසු වාර්තා එකවර ලබා ගැනීම. පාපොච්චාරණය ගැනීමෙන් පසු නැවත අදිකරණ වෛද්‍යවරයාට පැමින වීමක් කරන්නේ නෑ. ඒ කියන්නේ පාපොච්චාරණය ගැනීමේදී පහර කෑමට ලක්වීම අදිකරණ වෛද්‍ය වරයා හරහා විමසීමකට ලක් වෙන්නෙ නෑ. එතකොට කිසිම සැකකරුවෙකුට පහර දීමෙන් බලහත් කාරෙන් පාපොච්චාරණය ගත්ත කියල අදිකරනයේ ඔප්පු කරන්න බැහැ.මොකද පාපොච්චාරණ ගන්න කලින් සැකරුව හොදින් හිටපු බව විතරයි අදිකරණ වෛද්‍ය වාර්තාවේ සටහන් වෙන්නෙ. ත්‍රස්ත විමර්ශන නිලධාරීන් එම අවස්තාවේ අදිකරණ වෛද්‍ය වාර්තා දෙකම අරගන්නව වෙනස් වෙලාවල් දෙකක් දාල. මං හිතන්නේ අදිකරණ වෛද්‍ය වරුන් එක්කො මේ වද බන්දනයන් දැනුවත්ව ඒවා යටපත් කරන්න හෝ එහෙමත් නැත්තම් පාපොච්චාරණය ගැනීම යන ක්‍රියාපටිපාටියෙ අනුගමනය කල යුතු තත්වයන් නොදන්නව වෙන්න ඕන. එහෙම නැත්තම් අවස්තා දෙකකදි සැකකරුවන් පරික්ෂා කල යුතු දේ එකවර කරන්නේ නැහැනෙ.

මා ඇතුලු පිරිසෙන් පාපොච්චාරණය ගන්න කලින් ත්‍රස්ත විමර්ශන නිලධාරීන් අනාගත්තේ අපට පහරදුන් අවස්තාවේ මගේ සහ තවත් රැදවියන් කිහිප දෙනෙකුගේ රැදවුම් නියෝග අවසන් වීම නිසා අදිකරණයට ඉදිරිපත් කරන්න වුන නිසා. අනිත් කාරනය බූස්සෙ රදවල ඉන්න රැදවියන් සම්බන්දයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ එකල අදිකරණ වෛද්‍ය වරු නම් පහරදීමට ලක් වෙලා හිටියත් ඒවා සටහන් කරන්නේ නෑ. දකුණේ ඇතුලට එන්න එන්න රෝගීන් විදියට නෙමෙයි වෛද්‍ය වරු පහර කෑ අය බාරගන්නේ ත්‍රස්තවාදීන් විදියට. මට ඒ සම්බන්දයෙන් අත් දැකීමක් තියෙනව.

මට පහර දීල බලෙන් පාපොච්චාරණ අරන් නැවත බූස්සට ගෙනිච්ච. මාව ගෙනිහින් දානකොට පහර කෑමට ලක් වෙලා උන විකාරෙන් හිටියේ. වුන දේවල් බොදවෙලා වගේ මතකයි. අපේ අය මට බෙහෙත් අරන්දෙන්න කියල බූස්සේ නිලදාරීන්ට බලපෑම් කරන්න ඇති. පස්සෙ මාව කරාපිටිය රෝහලට ගෙනෙහින් පරික්ෂා කරපු වෛද්‍යවරය මට බොහෙත් කරන්න නම් මාව රෝහල් ගත කරන්න කිවුව.වෛද්‍යවරයට රැගෙන යාමට බෙහෙත් දීල මහේ වගකීම ගන්න බෑ කිවුව. නමුත් ඒකට එකඟ වුනේ නැහ බූස්සේ නිලදාරීන්.ඒ පහර දුන් බවට ප්‍රබල සාක්ශිකයක් වෙන නිසා. බූස්සේ නිලධාරීන් මම සිංහල කොටියෙක් බව පරසක්වල ගහල රෝහලේ ආරක්ශාව නෑ කියමින් වෛද්‍ය වරය අන්දල මාව නැවත බූස්සට ගේන අතරේ නිළදාරීන් මගෙන් අහුව අතේ සල්ලි තියෙනම් පුද්ගලික තැනකින් දොස්තර කෙනෙක් බලල බෙහෙත් අරන් දෙන්නම් කිවුව. ඒත් මගේ ගාව මුදල් තිබුනේ නෑ ඒ වෙලාවේ. මාත් එක්කම තවත් බෙහෙත් ගන්න ගිය ගෝපී කියල දෙමල සැකකරුවෙක් ඔහු ගාව තිබුනු රු 500 ක් දුන්න. බූස්ස බන්දනාගාරේ නිල වෛද්‍යවරයගේ ගෙදරට ගෙනිහින් පරික්ෂා කරල රු 500 ට හරියන්න බෙහෙත් දුන්නෙ. කනට පහර එල්ල කිරිමෙන් ඇති වෙදනාව පහව නොගිය නිසා ඊට සතියකට පසු කරාපිටිය රෝහලේ ඩොක්ටර් වලන්දාවේ ගාවට මගේ වගේම කන් පලපු තවත් දෙමළ සැකකරුවො දෙන්නෙක් එක්ක ඉදිරිපත් කරා. ඒ වෙලාවේ දෙමළ සැකරුවන්ට ප්‍රතිකාර කලත් මට ප්‍රතිකාර කිරීමට පෙර තමංගෙම ජාතිය පාව දුන්නේ ඇයි වගේ මෝඩ ප්‍රශ්න මගෙන් ඇහුව මතකයි ඒ වෛද්‍යවරය. ඔහුගේ දෑස්වල තිබ්බ වෛරය දැක්කම මං හිතුවේ කන කුනු වෙන්න බෙහෙත් දෙයි කියල. නමුත් අදාල පරීක්ෂණ වලින් මගේ එක කනක අබාදයක් ඇති සටහන් වුනා. අත් අඩංගුවට ගන්න මොහොතේ හොදට කන් අහුන මගේ වෛද්‍ය වාර්තාවල සටහන් කරල තිබුනේ කාලයක් තිස්සේ පවතින ශ්‍රවන ආබාදයක් බවයි. මට කිසිම බෙහෙතක් දුන්නේත් නෑ කනේ වෙදනාවට වත්, “ජාතීවාදයට එරෙහි වීමේ පව හිපොක්ක්‍රටීස් ප්‍රතිඥාවට වඩා ප්‍රබලයි ඒ කියන්නේ.”

දෙමළ රැදවියන් බලහත්කාරෙන් පාපොච්චාරන ලබා ගැනීමට විරුද්දවෙන්නේ නැද්ද ?

කොහොමද එහෙම විරුද්ද වෙන්නෙ. උතුරේ තරුනයන් බලහත් කාරෙන් ප්‍රකාශ ලබාගැනීමට එරෙහි නොවිමට කාරණා දෙකක් බලපැව. එකක් ඔවුන්ට අධික වදබන්දනයන්ට ලක් වූවත් කොළඹ අදිකරණ වල විනිසුරන් ගේ සිට අධිකරණ වෛද්‍ය වරු දක්වා කොලඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ජාතිය මත පදනම්ව දක්වපු පක්ෂ පාතීත්වය හේතුවෙන් පහර කෑ දෙමල තරුනයන්ට තමන්ට වන අඩංතේටම් වලක්වාගැනීමේ නීතිමය වග විභාගයක් නොතිබීම. අනෙක් කරුණ , දකුණු පොලොව තුල ඔවුන්ට පිලිසරනක් නැති කම . ඇත්තම කතාවත් ඒකනේ.

බූස්ස රැදවුම් කදවුරේ තත්වය ?

මට මතකයි බූස්සට ගිය මුල් දවස, අපි එක්ක දෙමල තරුණ තරුණියන් පිරිසකුත් රැගෙන ගියා. එක පෙලට කාමර 75 ක් විතර තියෙන්නෙ අපි රඳවපු පැත්තේ. එක කාමරේක 05 ගානේ රැදෙවුවෙ. අපිට පලාස්ටික් කෝප්පයක් පිඟාන ගානේ දුන්න හැමෝටම. උදේට හැම ශෙල් කාමර 03 කට විනාඩි 15 ක් ලැබෙනව මූනකට හෝදගෙන වැසිකිලි කැසිකිලි කරගන්න. ඒ කියන්දනෙ රැදවියො 15 වකට ආසන්න පිරිසකට. වැසිකිලි 03 ක් තියෙනව ඒවයි දොරවල් නෑ. අඩි 03ක් උසට පැති තාප්ප වලින් තමයි වැසිකිලි එකිනෙකට වෙන් වෙලා තියෙන්නෙ. එකෙනෙක් වැඩේ කරල ඉවර වෙනකල් අනික් අය කකුස්සිය ඉස්සරහ රැකගෙන ඉන්නව. වැඩේ කරගත්ත හෝ නැතා විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවර කරගන්න ඕන. දවල්ටත් රෙදි හෝදගන්න නාගන්න ඒ විදියටම විනාඩි 20 ක් විතර ලැබෙනව. හවසට මූනහොදන් කැසිකිලි වැසිකිලි යන්න ඒම කාලයම ලැබෙනව. අමතරව එලියට ගන්නේ තුන් වේලට පෝලීමේ ඇවිත් කෑම එක අරගෙන යන්න විතරයි. ශෙල් එකෙන් ශෙල් එකට පෝලින් කරල කෑම දීල වහනව. ඊටත් අමතරව කවුරු හරි ශෙල්වලින් එලියට ගත්තොත් ගන්නේ ප්‍රශ්න කරන්න හෝ ගුටි පුජාවක් දෙන්න තමයි. අපි බුස්සට දාපූ මුල්ම කාලේ මාසයක් විතර දවට පැය 23 ක් විතර ශෙල් වල වැහිල ඉන්න උනා. ගිහිපු මුල් දවස් වල රෑට මුත්‍ර බරක් හැදුනම මුත්‍රා දාන්න ප්ලාස්ටික් බෝතලයක් වත් අපට තිබුනෙ නෑ. වතුර බොන්න දීපූ කුඩා කෝප්පෙට කොටස් වශයෙන් මුත්‍ර කරල පිටිපස්සෙ බිත්තියෙ ඉහල තියෙන කවුලුවෙන් එලියට විසීකරනව. ඒකට තව කෙනෙක්ගෙ සහය ඕන. පස්සේ ගෙවල් වලින් බලන්න එනකොට බොන්න ගෙන බීම බෝතල් වලට මුත්‍ර කරල එලියට යන වෙලාවට විසිකරනව. පොතක් පත්තරයක් මුකුත් අපට ලැබුනේ නෑ මුල්ම කාලේ. එලියේ වෙන්නෙ මොකද කියල දැනගන්නෙ ගෙදර අයට විතරක් සතියකට සැරයක් අපිව බලන්න ලැබුන අවස්තාවෙදි විතරයි. ඒකත් ලගටම වෙලා නිලදාරීන් අහගෙන ඉන්නව. හැම කෙනාටම බීම බෝතලයක් බිස්කට් පැකට් දෙකක් රැගෙන ඒමට ඥාතීන්ට අවසර ලැබුනත් ඒ භාන්ඩ මිලදී ගන්න ඕන බූස්ස කදවුරේ අලෙවි සලෙන් පමණයි. පිටතින් ගෙන කිසිම පිසු අහාරයක් හෝ කිසිම දෙයක් ලබාදෙන්න අවසර නෑ.

බූස්ස රැදවුම් කදවුරේ පාලනයට දාපු බොහොමයක් නිලදාරීන් උතුරෙ යුද්දයෙදි යම් යම් ආබාද තත්වයන්ට මුහුන දුන් පොලිස් විශේශ කාර්‍ය බලකායේ හිටපු නිලදාරීන් තමයි පෝලීසියට අනුයුක්ත කරල බුස්සට දාල තිබ්බෙ. එම නිලදාරීන් දැඩි වෛරයකින් තමයි දමිල රැදවියන්ටත් අපිටත් සැලකුවෙ. අපි බූස්සේ හිටපු කාලේ චන්ද්‍ර කුමාර කියල බූස්ස ස්ථානාදිපති (OIC) කෙනෙක් හිටිය මනුස්සය විතරයි යම් මට්ටමකින් හෝ මනුෂ්‍යත්වයෙන් රැදවියන් දිහා බැලුවෙ.

පාපොච්චාරණය බලහත්කාරයෙන් ගත් පසු ඔබ ඇතුලු පිරිස රිමාන්ඩ් බන්දනාගාර ගත කරාද ?

පාපොච්චාරණ බලෙන් අරගෙන මාස 1  1/2 විතර නැවත බූස්සේ රඳවල තියල 2007/06/25 දින රිමාන්ඩ් බන්දනාගාර ගත කරේ. එදා වුදේම අපි ඔක්කොටම ලෙස්තිවෙන්න කිවුව රිමාන්ඩ් කරන්න. බූස්සෙ ඉදල අපිව කොලඹ ගෙනාවේ තවත් දමිලරැදවියො පිරිසක් එක්ක.දෙගොල්ලොම කොළඹට එනකල් සිංහල දෙමල සිංදු කිවුව මාරුවෙන් මාරුවට. රාජේෂ්වරී සහෝදරිය කැඩිච්ච සිංහලෙන් සුරන්ගනීට මාලු ගෙනාව සිංදුව කිවුවහැටි මැරෙන කන් අමතක නොවන මතකයක්. අපි ඒ මොහොතෙත් ඉන්නෙ අත් අඩංගුවේ උනත් අපි නැවත යන්නෙත් හිර බාරයකයට උනත් (TID) මරු කටෙන් ගැලවීමේ සතුට අපි හැමෝටම තියෙන්න ඇති. අපිව කොළඹට අරගෙන ආපු නිලධාරීන් මුලින්ම අපි සිංදු කියන එකට විරුද්ද උනත් පස්සේ ඒ වැඩේ රසවිදින්න ගත්ත.

බන්දනාගාරගත වුනාට පසු තත්වය මොකද වුනේ ?

අපි රීමාන්ඩ් කරන කාලේ වෙනකොට  මාධ්‍ය කාරයො අපි “සිංහල කොටි” යන නාමයෙන් බෞතීස්ම කරල ජනතාවට ඒත්තු ගන්නල ඉවරයි. කොටියෙක් වෙනවට වඩා සිංහල කොටියෙක් ජනතාව භාරගන්නේ තමන්ගෙම කොටසේ ජිවත් වෙන ද්‍රෝහින් ලෙස. මුලු සමාජයම වටකරල තනිකරල තමයි ඒ පීඩනය එල්ල කරන්නෙ.ඒක අපට වඩා දැනෙන්න ඇත්තේ අපේ නිවැසියන්ට. අපිව රිමාන්ඩ් කරපු දවසට පහුවෙනිද හිර කාරයො ලවුව අපට ගස්සන්න ඕක්කොම ප්ලෑන් කරල තියෙන බව අපට වැටහුනා හිරගෙදරට ගියාම. මම, නිහාල්, සරත්, ජගත්, ලසන්ත වැලිකඩ ප්‍රධාන හිරගෙදරට වැටුනේ. අනෙක් අය 10ක් CRP එකටත්, අනෙක් අය මැගසින් එකටත් යොමුකරේ.

වැලිකඩ බන්දනාගාරෙට අපිව අරං යද්දි හවස 6.00ට විතර ඇති, අපිව වාට්ටු දාන්න චැපල් එක මැදට ගෙනැල්ල පොත් වල අපෙ නම් සටහන් කරනකොටම එතන හිටපු නිලධාරීන් අපට කෙලින්ම කිවුව උදේට ලෙස්තිවෙලා හිටපල්ල පොරීයල් එක ලැබෙයි කියල. අපිව පස් දෙනා වෙන්කරල එදා රැදෙවුවේ චැපල් අංශේ b3/ A3/ සහ Yo කියන විශේශ ගනයේ සිරකරුවන් රඳවන වාටුවල. මම වැටුනෙ B3 අංශයේ මරණ දන්ඩනයට නියම වුනු දෙන්නෙකුත් ජීවිතාන්ත සිරදඩුවම් ලබන අයෙක් හිටිය කාමරේකට. ඒ උදවියට මට තේ කහට එකක් හදල දුන්න තහඩු දෙකක් එකට පූට්ටු කරපු හිරගෙදර හදපු හීටර් එකක් ආදාරෙන්. අපිට අල්ලපු කාමරේ හිටියේ වැලිකඩ සිරකරැ සංහාරයෙදි මිය ගිය මහරගම කලු තුශාර නැමැති රැදවිය ඔහුත් බිත්තියෙ උඩ සිදුරෙන් ප්‍රශ්න කීපයක් අහල මල්ලි උදේට කතාකරමු කිවුව සහ සිගරට් බොනවද අහල බොනව කිවුවම උඩ කවුලුවෙන් පැකට් එකක් දුන්න. 

පහුවෙනිද එලිවෙනකොට මුලු හිරදෙදරම මාතෘකාව සිංහල කොටි බව අපට තේරුනා. උදේ 9.00 විතර ශෙල් එකේ නාන්න එලියට දාන වෙලාවෙදි සිරකරුවන් ලවුව අපට පහර දෙන්න තමයි නිලදාරීන් ප්ලෑන් කරගෙන ඉදල තියෙන්නෙ. මහරගම කලු තුෂාර තමයි ඒක වැලැක්වුවේ. මට මතකයි තුෂාර ඒ වෙලාවේ වාට්ටුවෙ ඔක්කොටම ඇහෙන්න කිවුව උන්ට කවුරුත් අත තියල ලෙඩ දාගන්න එපා, උන්ට ගහන්න අපි උඹල පල්ලි පංසල් හදල ආපු උන් නෙමෙයි උන් මොකක් හරි දේශපාලනයක් කරපු වුන් උඹලට අපිට ඕවා තෙරේන්නේ නෑ’ කියමින් එතන තත්වය බැලන්ස් කරේ තුශාර. එහෙම නොවෙන්න අපි අද ජීවතුන් අතර නැතිවෙන්නත් ඉඩ තිබ්බ. crp එකේ රඳවල හිටපු අපේ අයටත් ඒකම වෙන්න ගිහින් කකුල් කඩන්න ඔන්න මෙන්න තියෙද්දි සිසිර යපා මැදිහත් වීමෙන් එක වැලකී ගියා කියල පස්සෙ දැනගත්ත.

2012 වැලිකඩ කැරැල්ලෙදි රංගජීවල කලු තුශාර මරන්න හොයද්දි මම නන්දිමාල් සහ එතන හිටපු අනෙකුත් සිරකුවො තුෂාරව සගවන්න උත්සහා කරත් අවසානේ නාකොටික් රංගජීව ඔහුව අඳුරගෙන එලියට ඇදල අරන් මරනව. අපට ඒක වල්කවන්න බැරි වුනා. එ සිදුවීම ගැන අදටත් මගේ හිතේ කනගාටුවක් තියෙනව. අපරාධකාරයෙක් වුනත් මොකෙක් වුනත් එහෙම මිනිස්සු මරණ එකට අපි විරුද්දයි. එදා ඒ වැලිකඩ සිරකරු මරණ වලක්වන්න අපි උත්සහා කරා, ඒක වෙනමම  කතාවක්. ඒක අදිකරණය තුල කතාකරන්න ඕන එකක්. කලු තුෂාර ආවේ සිරකරුවන් අතේ තිබ්බ ආයුද එකතුකරල කුඩා බන්ඩාරට බාර දෙන්න සහයෝගයට. මම සිරකරුවන්ගෙ පැත්තෙන් හිතල රහසිගතව භාවිතා කරපු දුරකතනයෙන් එවක අදිකාරී එක්ක සම්බන්දවෙමින්  කිහිප විටක් කතාකරල හමුදාවෙන් ඇතුල් වෙන එක වලක්වන්න අපට කල හැකි යමක්  කතාකරමින් හිටිය. සිරකරුවො ආයුද බාරදීලා යටත් වෙනව .එහෙම තියෙද්දි තමයි නිරපරාදෙ ඒ මිනිසු මරා දැම්මෙ. වැලිකඩ ඝාතනේට සාක්කින්දෙන ජේලර් කුඩා බන්ඩාර ඇතුලු වැලිකඩ එවක අදිකාරී විතරයි අවංකව සිරකරුවන් බේරගන්න මැදිහත් වෙන්න හරි උත්සහා කරේ. එවක අදිකාරී නැත්තම් අපිවත් එදා මරල.

ඔබ ඇතුලු කන්ඩායම එකවර නිදහස ලබන්නේ නැහැ. ඒකට බලපෑ හේතු මොනවද?

2009 වර්ශයේ මුල වගේ අපේ කන්ඩායමේ 12 දෙනෙක් විතර නඩුපැවරීමකින් තොරව නීති පති තුමා විසින් නිදහස් කරනව.තවත් පිරිසක් 2010 මැතිවරනය ආසන්නයේ තවත් පිරිසක් මුදාහැරෙනව. ඒ කාල වකවානුව වෙද්දි අපේ අනෙකුත් පිරිසකට අදි චෝදනා ගොනු කෙරෙනව යාපනය, වවුනියා, කොලඹ මහාදිකරන වල. අවසානයට මට චොදනා ගොනු කරේ යාපනය මහාදිකරණෙ (2012) ඒ කියන්නේ අත් අඩංගුවට අරන් වසර හයක් ගියාට පස්සෙ. ඒ වෙද්දි හිරගෙදර අපේ නඩුවට අදාලව අත් අඩංගුවේ හිටියේ 07 දෙනෙක් විතර. එතනිනුත් 03 න්දෙනෙක් පුනරුත්තාපනයට යොමු කරල නිදහස් වුනා 2013 විතර. අවසානේ මම, ලලිත් සෙනෙවිරත්න, නිහාල් සේරසිංහ විතරයි ඉතුරු වුනේ. මගෙත් යාපනය නඩුව නිදහස් වෙනකොටම ගම්පහ මහාදිකරණෙ තවත් නඩුවක් ගොණු කරා මට, නිහාල්ට, ලලිත්ට අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවෙන්. ඒ නිසා අපිට තවත් කාලයක් ඉන්න වුනා. 2014 ඔක්තෝබර් 30 ගම්පහ නඩුව ඇදල ඇදල සාක්කි නැති තැන නීතිපති ඉල්ලා අස්කරගත්ත. මම, මොලා, නිහාල් අවසානයට අපේ කන්ඩායමේ හිරේ හිටපු අයගෙන් අවසානයට නිදහස් වුනේ එහෙමයි. අපි ඔක්කොම එකවර නිදහස් නොවෙන්න හේතුව මම හරියටම කියන්න දන්නේ නෑ. කොහොම වුනත් අපි ඔක්කොම වරින් වර නිදහස් වුනා.

යාපනය මහාදිකරනේ ඔබට විරුද්දව නඩු පැවරුවේ කුමණ හේතුවක් පදනම් කරගෙනද ? (ඔබට එරෙහිව එල්ල වුන චෝදනා මොනවද?

දකුණෙ තහනම් සංවිදානයක් පිහිටවගෙන උතුරෙ එල් ටී ටී සංවිදානය සමග එක්ව පවතින රජයට එරෙහිව කුමන්ත්‍රනයේ යෙදීම හා අවි අයුද රැස් කිරිම කියන එක එක චොදනාවක්. සාමය පැවති සමයේ කිලිනොච්චියෙදි ගිණි අවි පුහුනුව ගත්ත කියන එක අනෙක් චොදනාව.

2005  ඔබ අපොස උ|පෙල අවසන් කරල ඉන්න කාලේ තමයි  කාලේ ගිණි අවි පුහුණුවකට උතුරට ගියා කියන චෝදනාවක් එල්ල වෙනන්නෙ , ඒ කාරනාවෙ ඇත්ත නැත්ත මොකක්ද? .  

ගිණි අවි පුහුණුවක් ගත්තනම් ඒක හරි හෝ වැරදි තීරනය වෙන්නේ ඒ කුමක් සදහාද කියන කාරණය මත. එහෙම නැතුව තුවක්කුවෙන් මිනිස්සු පීඩනයට ලක් කරන සිංහල බෞද්ද ආන්ඩු ඒක තීරනය කරන්නෙ කොහොමද ? උතුරේ දෙමල ජනතාවගේ අරගලය ඉතා සාධාරණ කාරනා මත බිහි වූවක්, අපි ඊට අහුකන් දිය යුතුයි. කොන්දෙසි විරහිතව ඔවුන්ගේ අරගලය භාර නොගෙන හාන්සි පුටු ක්‍රමයට උත්තර එතනට හරියන්නෙ නෑ. ප්‍රගතිශීලී කියාගන්න මිනිස්සුන්ගෙ තියරි ටොන් ගානකට වඩා උතුරේ පීඩිතයට ඕන කරල තිබ්බෙ සහ ඉදිරියටත් ඕන වෙන්නෙ  ඔවුන් සමග දෙපයින් හිටගන්න මිනිස්සු. 

අනෙක් කාරනයට උතුරට යන්න මේ ආන්ඩුවලින් අවසර ගන්න ඕනද? අල්ලපු වැටේ දෙමල ජනයා මුනගැහෙන්න උතුරට යන්න සිංහල ජාතිවාදී  ආන්ඩුවලට රපොර්තු කරන්න ඕන කියල මම විස්වාස කරන්නෙ නෑ මොනම තත්වයක් යටතෙ උනත්.

යාපනය හිරගෙදර කොච්චර කාලයක් හිටියද ?. යාපනය අදිකරණයේ තත්වයයි කොලඹ අදිකරන වල තත්වයයි ගැන කොහොම වෙනසක්ද තියෙන්නෙ ?

 යාපනයේ හිරගෙදර මම අවුරුදු දෙකක් 2012-2014 කලේ හිටියේ. ඒ අතරේ කොලඹ නඩුවටත් අවා ගියා. යාපනේ ඉන්නකොට ගෙදර අයට මාව බලන්න එන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ දුර ප්‍රශ්නේ හින්ද. දමිල රැදවියො තමයි ඒ කාලේ ඒහේ ඉද්දි උදවු කරේ. 

යාපනයේ අදිකරණ වල විනිසුරු වරුන් නිතර බන්දනාගාරෙට ඇවිත් සිරකරුවන්ගේ සෞක්‍ය ආහාර හා දීර්ගකාලීනව බන්දනාගාර ගතවී සිටීන අය ගැන විශේශ අවදානයක් යොමුකරනව. මගේ නඩුව විභාගයට ගත් අවස්තාවක එකල යාපනයේ මහාදිකරන විනිසුරු අන්නමලෙයි මහතා  මාව නිල මැදිරියට අරගෙන මගෙන් කරුණු විමසුව. අවුරුදු කීයක් ඇතුලෙද? පවුල් පසුබිම ? ගෙදරින් යාපනයට බලන්න එනවද වගේ ප්‍රශ්න ? තව සාමා කාලේ යාපනයට මීට කලින් ඇවිත් තියෙනවද අහුව ?  මම ඒ මොහොත වෙනකොට  අවුරුදු 06 ක් චෝදනා ගොනුකිරීමකින් තොරව  මගේ තරුණ ජීවිතය නිකරුනේ හිර ගෙවල් තුල  කාලය නාස්ති කිරීම සම්බන්දයෙන් එතුමා නීතිපති පති දේපාර්තු මේන්තුව ගැන තම අසතුට ප්‍රකාශ කලා පමණක් නෙමෙයි මේවගේ දේවල් වලට අදිකරණයත් වග කියන්න ඕන කියල ඒ වෙනුවෙන්  එතුමා මට කනගාටුව ප්‍රකාශ කරා. ඊට අමතරව  එතුමා පොරොන්දු උනා මගේ නඩුව මාස තුනක් ඇතුලත විභාගකොට අවසන් කරන්න.

දකුණෙ නඩුකාරයො සැක කරුවන්  අත් අඩංගුවට ගැනීමේදී පැනයන්න හැදු බව කියන ව්‍යාජයට මුවා වෙලා පොලීසියෙන් මරා දාන  මරණ සදාරනීකරනය කර පෝලිසියේ පැත්ත ගනිද්දි   මට මතකයි මගේ යාපනය නඩුව නිදහස් උන දවසේ යාපනේ නඩුකාරය මගෙන් අහුව එක්කන් යන්න ගෙදරින් ඇවිත් ඉන්නවද කියල. මට යාපනයෙන් නිදහස් උනාට කොලඹ නඩුව නිසා එලියට යන්න බෑ කියල ඒ වෙලාවෙ  මම කිවුවම එතුම එවෙලෙම නිතීපති එකේ කොලඹින් ආපූ ලෝයර් නෝනන්ගෙන් ප්‍රශ්න කරා ඇයි සමාන චෝදනා සමාන සාක්කි එක අදිකරණයකින් ප්‍රතික්ශේප කරල තියෙද්දි තවත් අදිකරණයක ඒ මත නඩු ගෙනියන්නෙ කොහොමද කියල. නීති පති එක ඒ ගැටලුව ලිහන්න තවත් මාස අටක් විතර කාලයක් කාල තමයි කොලඹ නඩුව අවසන් කරේ.           

අවසාන වශයෙන් දැනගන්න කැමතී දැනට ඉතුරුවෙලා ඉන්න දේශපාලන සිරකරුවන් ගැන මොකද කියන්න තියෙනෙ ? 

දැනට ඉතුරු වෙලා ඉන්න දේශපාලන සිරකරුවන් උතුරෙයි දකුනේයි දේශපාලන බලවතුන්ගේ සුදු පිටියෙ පිටියෙ  මල කුණ බවට පත්කරගෙන තියෙන්නෙ. මේක තියාගෙන දෙපැත්තෙම අය තෝන් එකතු කරනව. මේ තිස් අවුරුදු යුද්දයට වගකියන්න ඕන මේ ඉතුරුවෙලා ඉන්න සොච්චමද ?. මට මතකයි එකදවසක් අදිකරනෙදි දමිල රැදවියෙක් හොද කාතාවක් ඇහුව මෙහෙම, “ෂෑර් අපිල කරේ ඒයාල අපිට කියපු එක, අපිල පිට රටින් අවුද ගෙනත් ගැහුවේ නෑ ඒවා ගෙනෑවේ කේ.පී. අපිලට බැටල් ඒකේ  ගහන්න ලීඩ් කරේ කරුණා අම්මාන්, දැන් ඒ දෙන්නම එලියෙ ඉද්දි අපිල තියගෙන මොකටද කියල අහපි නඩුකාරයගෙන් “.   ඒ වෙලාවේ නඩුකාරය මුක පූට්ටුවෙල උසාවිය කල්තියල නිලමැදිරියට පැනගත්ත.

අපි එක්කම සමකාලේ  බූස්සෙ හිටපු මිත්‍රයෙක් ඉන්නව චන්ද්‍ර බෝස් කියල මිනිහ තාම මැගසින් ඉන්නව, ඇල්ලුවේ වෙන නඩුවකට 2007 විතර ඒත් දැන් හිරේ ඉන්නෙ ගෝඨාභයට ගහපු  පිත්තල හන්දියේ බොම්බ ප්‍රහාරයට. මේ කියන තරුනය හිරේ ඉද්දි පිත්තල හන්දියේ බෝම්බේ පුපුරන්නෙ. හැබැයී ඒ නඩුවට එකෙක් නැති නිසා මේ කොල්ල පටලවල. අනික බාලගුරු ඌගේ ගම පුදුකුඩු ඉරිප්පු කොල්ල පොඩි කාලේ පවුලම හමුදාවෙන් දාපු බෝමබ වලට අහුවෙල මැරිල. ඊට පස්සෙ  කොල්ලව හදාගන්නෙ එල් ටී ටී එකෙන්. ඉතින් ඌ ලොකු උනාම කොලඹට ඇවිත් අපට ගහනව තමයි, එහෙම නොගැහුවනම් තමයි ප්‍රශ්නෙ. ඒකට වූව හිරේ දලා තියන් ඉදල හරියනවද ? මේ ප්‍රශ්න දිහා වඩා විවෘතව බලන්න ඕන. ඒ මිනිස්සුන්ගේ පීඩනයේ මූලික වැරදි කාරීත්වය කොන්දෙසි විරහිතව අපි භාර ගන්න තාක් මේ ප්‍රශ්න විදන්න බෑ. දේශපාල හිරකාරයො විතරක් නෙමෙයි පොදු සිරකරුවාගේ ඉරනම දිහාත් අවදානය යොමුකරන්න ඕන කියලයි මගේ අදහස. අනිත් කාරනය එල් ටී ටී ඒකේ හිටපු කිසිම තරුනයෙක් නැවත ආයුද තියා ඇල්පෙනෙත්තක් අල්ලනෙත් නෑ. ඒ චැප්ටර් එක ඉවරයි. දෙමළ ජනයා ඊට වඩා දියුනු අරගලයක් නිර්මාණය කරයි මේ රැවටීම් සහගත පාලනයන්ට එරෙහිව. ඒ නිසා දකුණෙ ඉන්න වමේ අය උතුරෙ ගිහින් දෙමලට පංති විප්ලවය ගැන  ක්ලාස් දාන ඒක කාලය කා දැමීමක්. ඒ අය අපට වඩා දේශපාලන සවිංඥානය අතින්  එදත් අදත් ඉදිරියෙන් ඉන්න ජනකොටසක්. ඒ ම්නිසුන්ට අපෙන් අවශ්‍ය කරන්නෙ ඉතිහාසීය අඩුපාඩු නිවැරදි කළ හැකි කොන්දෙසී විරහිත මානව ප්‍රේමය විතරයි. ඒකීය, සන්දීය, බලය බෙදීම කියන වචන ඇතුලේ හිරවෙලා අපි නැතිකරගත්ත අපේ මානව ප්‍රේමය අපි මුලින්ම වගකරගන්න ඕන අපේ ජනතාව තුල. එහෙම නැත්තම් තවත් චිරාත් කාලයක් අපිට උතුරේ හෝ දකුණෙ හෝ අතුරුදහන් වූවන් සිරගත වූවන්  ගැන නැවත නැවත කතාකරමින් ඉන්න පුලුවන්. 

සාකච්චාකරේ |අකුණ|  

දෙවියන්වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා.

 

 

Share this

Related posts