දෙවියන්වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා.

 රැදවුම් කදවුරු තුල මුහුන දුන් අත්දැකීම් තුලින්, නීතිය ක්‍රියාත්මක කරන අදිකරණය හා පෝලීසිය අත්වැල් බැද දේශපාලන රැදවියන් පෙලන ආකාරයත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, හදිසි නීතිය වැනි රාජ්‍ය අනපනත්  ක්‍රියාතමක වන සැබෑ තත්වය කුමක්දැයි විමසීමකට ලක් කළ යුතුය. අත්තොනෝමතික ලෙස වරදකරුවන් කොට සිරගෙවල් තුල හුදකලා කර ගාල්කර දැමු මිනිසුන්ගේ අත් විදීම කෙබඳු දැයි  කියවා ගැනීමට මෑත දශකය තුල දේශපාලන සිරකරුවන්ව සිට නිදහස ලැබූවන්ගේ අත් විදීම් ලිපි මාලාවක් මගින් ඔබට ගෙන එන්නෙමු. යුද්දය අවසන් වී වසර 09 ක් ගේවීයන මේ මොහොත වන තුරුත් ත්‍රස්තවාදීන් ලෙස හන්වඩු ගසා සිරගෙවල් තුල ගාල්කොට ඇති මිනිසුන්ගේ ඉරණම තීන්දු කරන පසුගිය හා පවතින රාජ්‍ය පාලනයේ  අත්තනෝමතික අති අමානුෂික ක්‍රියා පිළිවෙත කෙබඳු දැයි මෙකී ලිපි මාලාවෙන් හෙලි කරන්නට කටයුතු කරන්නෙමු. |අකුණ|

 පළමු ලිපිය (i.කොටස) 

වර්ෂ 2007 දී  හදිසි නීති රෙගුලාසි යටතේ හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට පත්ව 2014 ඔක්තෝම්බරයේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස ලැබූ  සහන් හේවාදලුගොඩ යන රැදවියා සමග කල සාකච්චාව  පළමු ලිපියෙන් කොටස් දෙකකින් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

අත් අඩංගුවට පත්වූ කාළ වකවානුව හා අත් අඩංගුවට පත්වීමට මූලික වූ හේතු සාධකය පැවසුවොත්  ?

මතකයේ හැටියට මම අත් අඩංගුවට පත්වුනේ 2007 පෙබ. 12 වගේ දිනයක.එතකොට මට අවුරුදු 21 විතර ඇති. අත් අඩංගුවට පත්වීමට ආසන්තම හෙතුව විදියට 2007|02|05 දින රාජපක්ෂ රෙජිමයේ රහසිගත බුද්දි ඒකකයක් මගින් “අකුණ” මාසික පුවත්පතට සම්බන්දව කටයුතු කළ හා ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් නිශ්චිත මතයක් දැරූ පුද්ගලයන් තිදෙනෙක් පැහැර ගැනීමකට ලක් වුනා. මම ඒ වෙනකොට ඒ පැහැර ගැනිමට ලක් වූ අය සමග සහ අකුණ පුවත් පතට සම්බන්දව සක්‍රීයව කටයුතු කලා. රටේ පවතින නීති රාමුවට පිටින් පැහැර ගත් ඉහත පුද්ගලයන් වහා නිදහස් කරන ලෙස ප්‍රගතිශීලී දෙස් විදෙස් මිනිසුන්ගෙන් එල්ල වූ බලපෑමට මත දන ගැසූ රෙජිමය පැහැරගත් පුද්ගලයන් දින දෙකකට පසු ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශයට භාරදෙනු ලැබුවා. නීති විරෝදි පැහැර ගැනීම යටපත් කිරීමේ අරමුණින් හා අප දැරූ දේශපාලන මතය යටපත් කිරීමේ වුවමානාව තිබූ එකල රටේ යුද උන්මාදයෙන් පෙලුනු රෙජිමයත් ඊනීයා වාම කොටසුත් සිංහල බෞද්ධ ජාතීවාදි සංවිධානත් එකතු වී  පැහැරගත් අයවලුන්ට “සිංහල කොටි” යන හංවඩුව ගසමින් ව්‍යාජ නාටකයක් මවන්නට  කටයුතු කරා. එම නාටකයේ  ප්‍රතිපලයක් ලෙස පැහැර ගැනීමට ලක්වූ පිරිසට පහර දී බලහත් කාරයෙන් ලබාගත් වීඩියෝ සහිත ව්‍යාජ ප්‍රකාශ මාධ්‍ය හරහා ජනතාව අතරට රැගෙන ගොස්  මම ඇතුලු තවත් 25 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසුවේ එහෙමයි. අප අත් අඩංගුවට ගත්තා පමණක් නෙමෙයි ඒ සිදුවීම දඩමීමා කරගනිමින්  දෙමල ජනයාට එරෙහි යුද්දයට විරුද්ද ප්‍රගතිශීලී මිනිසුන් නිහඩ කරන්නට රෙජිමයත් ජාතීවාදී වමේ කොටසුත්  සිංහල බෞද්ධ ජාතීවාදි සංවිධානත් අත් වැල් බැදගත්තා. 

අත් අඩංගුවට පත් නොවී සැගවී සිටින්නට උත්සහා කරාද ? 

ඔවු, උත්සහා කරා. ඒ  කාලේ  රටේ තිබ්බ තත්වයේ හැටියට සැගවී සිටීමත් අත් අඩංගුවට පත්වීමත් ලොකු වෙනසක් නෑ. ඒ දෙවිදියෙන් කෝයික තෝරගත්තත් විරුද්ද මත ධාරීන්ගේ ජීවිත මරනයෙන් කෙලවර කරන එක රාජපක්ෂලට ඒ කාලේ පොඩි දෙයක්.  ඒ මරණ සාධාරණීකරනය කරන්න මුලු සමාජයම පෙලගැහුනු මොහොතක් ඒක. සැඟවී සිටීමටත් පන තියෙන මිනිසුන්ගෙ සහය උදවු උපකාර අවශ්‍යයි. සිංහ ලීලාවෙන්ම හා ලොකු දේශපාලන කතන්දර සමාජයට අත් හරින අය අතරේ ප්‍රායෝගිකව ප්‍රශ්නෙට මුහුන දෙද්දි  ගැරඩි හිකනැල්ලුවගේ හැසිරෙන බව මං අත් දැක්ක. අපි වෙනුවෙන් කවුරුත් පෙනී සිටීම නියමයක් නැතත් අපි  එදිනෙදා නඩත්තු කරන බොහෝ සමාජ සම්බන්දතා සම්බන්දයෙන් තිබූ ව්‍යාජය  දැක්ක. කොදු බිඳගත්ත සමාජයක අතලොස්සක් වන එහෙමත් කොන්දක් ඇති මිනිසුන් මට ඒ අවස්තාවේ මුනගැහුනේ නෑ. වික්‍රමභාහු, සුචරිත ගම්ලත්,  සාන්ත විජේසුරිය ඇතුලු සුලු පිරිසක් විතරයි අපේ සමහර සහෝදරවරුන්ට උදවු කරන්න ඉදිරියට ආවේ.     

අත් අඩංගුවට පත් වුනාට පසු තත්වය ?  

කොළඹ ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශය මගින් තමයි අත් අඩංගුවට ගැනීම සිද්ද කරේ. එදාම ආරක්ශක ලේකම්ගේ නියෝගයෙන්  දින 90 වක රැදවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කිරීම සදහා  මා රඳවා ගනු ලැබුව. කොළඹ චෛත්‍ය පාරේ තිබ්බ පරන පාස්පොර්ට් කාර්යාලයේ තමයි අපිව රඳවගෙන තමයි ප්‍රශ්න කිරීම් කරේ. මා අත් අඩංගුවට පත්වීමත් සමග මගේ තොරතුරු ලොක රතු කුරුස සංවිදානයට (icrc)  කවුරුන් හෝ දැනුම් දීමෙන් පසු ඔවුන් කිහිපවිටක් මා සිටින බවට සහතික කරගැනීමට පැමිණියත් කොලඹ (TID) නිලධාරින් මාව ඔවුන්ගෙන් සඟවනු ලැබුව. අත් අඩංගුවට අරන් දින දෙකකට පස්සෙ තමයි (icrc ) නිළදාරිනියට මාව මුනගැහෙන්න අවස්තාව ලබාදුන්නේ. ලින් නැමති ඒ නිළදාරිනියට පමණයි කොලඹ (TID)  එකේ කොයි නිළදාරියත් මොහොතකට හරි භය පක්ෂ පාතීත්වයක් දැක්වූයේ.  මම අත් අඩංගුවට පත්වන විට 20 ක් පමන පිරිස් මා අත් අඩංගුවට පත් සිද්දියට අදාලව ඒ මොහොතෙත් එතන රදවල හිටිය රැදවුම් නියෝග යටතේ. එතන හිටපු අපේ සමහර අයට අමානුෂික විදියට පහර කෑමට ලක්වුන අය හිටිය. මාව අත් අඩංගුවට ගත් දිනයේම ආබ්දීන් සමන් කරුනාරත්න ඇතුලු  තවත් නිලදාරීන් මට පරදෙමින්  ගාල්ලේ මගේ ගෙදරට රැගෙන ගොස් නිවස සෝදිසි කරා.මුලු වත්තම හෑරුව,අවසානේ මුකුත්ම නෑනේ මූ ගාව කියල මගේ පරිඝනකය ඔවුන් භාරයට ගත්ත. මගේ නිවැසියන් පැති දෙකක පීඩනයට ලක්වෙලා ඒ මොහොත වෙනකොට. එකක් මගේ අත් අඩංගුවට පත්වීම වගේම “සිංහල කොටි” හංවඩුව තුල ගම්වාසීන්ගෙන් එල්ලවන පීඩනය හා හිරි හැර. ඒවා පිටිපස්සේ හිටියේ ගමේ මිනිසුන්ට වඩා ජවිපෙ ජාතිවාදි පිරිස් සහ පෝලීසිය. ඒ වුදවිය යටින් උසිගැන්නුව මිනිසුන්ව. ඒ කාලේ සියලු පුවත්පත් රූපවාහිනී මාධ්‍ය අපේ අත් අඩංගුවට පත්වීම කිසිම වග විභාගයක් නැතුව රහ කර කර ජනතාවට බෙදුව එකේ ප්‍රතිපල අදටත් එහෙම්මමයි.

කොළඹ ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශය තුල තත්වය කොහොමද  ? 

කොලඹ (TID) එකේ අපිව රඳවල තිබ්බේ අඩි 50 *30 ප්‍රමාණෙ පැරනි  ශාලාවක් තුල හදපු  ශෙල්  ශෙල් 10 ක් හෝ 12ක් විතර ඒතන තිබුන.  ප්‍රමාණය අඩි 4*6 ඒ එක ශෙල් එකක රැදවියො 04 ක් රදවනව. ඉර එලියක් වැටෙනෙම නෑ. වාතය ඇතුලට ගමන් කරන්නත් පිටකරන්නත් කුඩා ෆෑන් දෙකක් බිත්ති සිදුරු කරල සවිකරල තිබුනෙ. දවසෙම ඉන්නේ ටියුබ් බල්බ් වල එලියෙන්. පිරිසිදු වාතය ටිකක් ආලෝකයක් ලබන්න පුලුවන් ප්‍රශ්න කිරීම් වලට ඉහත මාහල් වල තිබූ නිලදාරීන්ගේ කාර්‍යාල වලට රැගෙන යද්දි විතරයි. පිරිසිදු වාතය ටිකක් ලැබුනොත් ඒකත් එක්ක බර ගුටියක් ශුවර් එක හැමෝටම වගේ ලැබෙනව. ඇත්තටම ඒවා නිලධාරින්ගේ  කාර්‍යාල නෙමෙයි වදකාගාර කිවුවොත් නිවැරදී. මාස දෙකක් විතර මට කොළඹ ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශේ තියාගෙන පහරදෙමින් ප්‍රශ්න කිරීම් කරා. අපි එක්ක එල්.ටී.ටී.යට සම්බන්ද යැයි සැක  දෙමල තරුනයොත් වසසක උදවියත්  ගොඩක්  රඳවල හිටිය. එ හැමෝටම වගේ දරුණු විදියට එහි නිලධාරීන්ගේ පහර කෑමට ලක්වුනා.  බිම හාන්සි කරල  ලිගුව වයර් එකකින් ගැටගහල පොලොවෙන් ඉහලට ශරීරය ඔසවමින් සමහර දෙමල තරුනයටන්ට පහරදුන්නේ එහි නිළදාරීන්.  පහරදීල මරණ බය ඇතිකරවල බියවද්දල තමයි ත්‍රස්ත විමර්ශනේ නිලදාරීන් ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශ වලට අත් අඩංගුවට පත් වූවන්ගෙන් අත්සන් ගන්නේ. ඒ ප්‍රකාශ තමයි අන්තිමට අදිකරණෙදි පාපෝච්චාරණය කියල ඒ ඒ සැකකරුවන්ට විරුද්දව සාක්කියක් විදියට පාවිච්චි කරල දඩුවම් කරන්නෙ. ඒ හැම තාඩන පීඩනයක්ම එල්ල වුනේ අතමිට සරු නැති අයට පමණයි. යමක් කමක් කරගන්න පුලුවන් අයගෙන්  නිලධාරීන්  මුදල් අරගෙන  නිදහස් වෙන විදියට කටවුත්තර ගන්නේ. එතකොට කොටිද ත්‍රස්තවාදීද කියල ප්‍රශ්නයක් ඒ උදවියට තිබුනේ නෑ. මුකුත් නැති කම තමයි ද්‍රෝහියා කවුද කියල බොහෝ වෙලාවට තීරනය වෙන්නෙ.  ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඉහල නිලදාරීන්ට  එහෙම මුදල් අරගෙන බේරන්න බැරි වුන කිහිප දෙනෙක් හිටිය. ඒ අය කෙලින්ම ගෝඨාභයට කප්පන් ගෙවන්න අකමැති වෙච්ච පිරිස. ඒ වුදවිය අතරෙ  දේශපාලනිකව ගෝඨායට ඕන විදියට හසුරුවන්න බැරිකමට ඇතුලට දාපු දෙමළ ව්‍යාපාරිකයොත් හිටිය. ඒ සමහර උදවිය යුරෝපයේ හෝ වෙනත් රටවල් වල පදිංචි කරුවන්, ව්‍යාපාරික වැඩවලට ලංකාවට ආපු මොහොතවල් වල ඒ වුදවිය බොරු චොදනා දාල අත් අඩංගුවට ගනිපු  උදවිය. ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශේ ඉහල නිලදාරීන් හරහා ගෝඨාභය එම රැදවියන් මෙල්ල කර ඔවුන්ගේ දේපොල අත්පත් කර ගැනීමටයි උත්සහා කරේ . නම් වශයෙන් කිවුවොත් ගෝපි දාස්, සිංගප්පූර් අයිය, අයිරිෂ් මෝනා නවුකාවේ හිමිකරු ඒ අතරින් ප්‍රධානයි. 

ඔබෙනුත් පාපෝච්චාරණයක් ලබා ගත්තද ?       

මා ඇතුලු පිරිසෙනුත් කොලඹ (TID) එකෙදි  පාපොච්චාරන බලහත් කාරයෙන්  සටහන් කරගන්න කිහිප විටක් උත්සහාගත්තත් එය එකවර සාර්තක වුනේ නෑ මොකද අපි තනි සිද්දියකට අදාලව  කන්ඩායමක් විදියට එකතැනක රඳවල හිටපු නිසා අපිව මෙල්ලකරන්න නිලධාරීන්ට පහසු උනේ නෑ. පාපොච්චාරනය ගැනීමේ අරමුණින් අපව කොටස් දෙකකට කඩල මම ඇතුලුව පිරිසක් ත්‍රස්ත විමර්ශනේ නිලදාරීන් විසින් බූස්ස රැදවුම් කදවුරට මාරූ කරා. එහිදි පහරදීම් බියවැද්දිම් කරල නැවත උත්සහා කරත් අපි 04 දෙනෙක්  දුන්නෙම නෑ. මාස තුනක් විතර බූස්සෙ ඉන්නකොට පාපොච්චාරනය දීමට අකමැති  මම ඇතුලු අපේ සිද්දියට අදාල 04 දෙනෙක් කොලඹ  (TID) එකට නැවත රැගෙන විත් හොදටම පහර දෙනු ලැබුව. මම,සරත් කුමාර, ජනක මනමේන්ද්‍ර, නිහාල් සේරසිංහ, සිසිර ප්‍රියන්කර යන අය තමයි එදා දරුනු විදියට පහරකෑමට ලක් වුනේ. එදා වුන පහර කෑමෙන් මගේ එක කණක් අදටත් අහෙන්නෙ නෑ . පහර දුන් දිනයේම දින 90 මාගේ රැදවුම් නියෝගය අවසන් වී තිබු බැවින් එය දීර්ග කරගැනීමට  අදිකරණයට ඉදිරිපත් කිරීමට සිදුව තිබුණා. පොලුවලින් පහර දීමෙන් ශරිරයේ පාරවල් තිබෙන නිසා උසාවි රැගෙන යන නිළදාරීන් මාව අදිකරණයට ඉදිරිපත් කිරීමට බය වුනා. උසාවි ගෙණියන්න තියෙන එකාට ගැහුවෙ මොන බුරූවෙක්දැයි කියමින් නිලදාරීන් අතර බහින් බස්වීමක්ද ඇතිවුනු බව මට මතකයි. පහර දීම සම්බන්දයෙන් අදිකරණයේ ප්‍රකාශ කළ හොත් අදිකරණයෙන් එලියට එනවිටම වෙඩිතබන බවත් එසේ වෙඩි තබා පැණ යාමට තැත්කල බව පවසා ඔවුන් ට පහසුවෙන් ගැලවිය හැකි බව  (TID) නිලධාරීන් තර්ජනය කලත්  මම තීරනයක් අරගෙන හිටියෙ. බොරු ප්‍රකාශවලට අත්සන් තබා ජීවිත කාලෙම හිරේ ඉන්නවට වඩා වෙඩිකාල මැරෙන්න හරි මම අදිකරනයේදි පහර කෑම හා බලහත් කාරයෙන් පාපොච්චාරනය ලබාගන්නට  (TID) නිලධාරීන් උත්සාහ කරන බව ප්‍රකාශ කර හිටිය. අලුත්කඩේ අංක එක නිලමැදිරියේ එවක ප්‍රධාන මහේස්ත්‍රාත් කුසලා සරොජනී මහත්මිය ඉදිරිපිටදි. ඒ වගේම පහර කෑමට ලක්ව සිටි අනෙකුත් සගයන්ගෙ නම් සහ විස්තරත් ඉදිරිපත් කරා. හාස්‍යජනක කරුණ නම් කුසලා සරෝජනී මහත්මිය ඊට ප්‍රතිචාර ලෙස මටම  බැන වදිමින් ත්‍රස්තවිමර්ශන ඒකකයේ නිලධාරින්ට ගුන වයන්ට  වීමයි. එතුමිය (TID) එකෙන් සැකසූ ව්‍යාජ බී වාර්තාව අතට ගෙන මුගෙ  වයසටද කරල තියෙන වැඩ කියමින් පටන් ගත් එතුමිය එය අවසන් කරේ ගහන්න නෙමෙයි මරන්නයි වටින්නෙ කියා පවසමිණි. මා පසන කිසිවක් ඇය කණකට නොගත් බව අවබෝධ කරගත් මා වඩා ශබ්දයෙන් ප්‍රකාශ කර සිටියේ  මා මේ ගරු අදිකරනයේ කරන්නේ මිණිල්ලක් බවත් ඒය සටහන් කරගන්නා ලෙසත්, පහර කෑමට ලක්ව ඇති බැවින් මාහට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත්, පහර දුන් බව පැවසුව හොත්  පැන යාමට තැත්ම කලා යැයි මට වෙඩි තබන බව  (TID) නිලධාරින් තර්ජනය කල බවත්, මාහට නැවත  (TID) එකට යාමට නොහැකි බවත්, මා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉල්ලන ලදි. මහෙස්ත්‍රාත් තුමිය ඒ මොහොතේ සති දෙකකට එහා දිනයක් දෙමින් මා සම්බන්ද අදිකරන වාර්තාවක්  ඉදිපත් කරන ලෙස  (TID) නිලධාරීන්ට දනුම් දුන්න. මගේ පැමිනිල්ල කෙසේ හෝ අදිකරණයේ සටහන් කිරීම මත නිලදාරීන් යම් තැති ගැනීමක හිටිය මන් දැක්ක. ඒකට හේතුව මා අදිකරණයේ පැමිණිලි කල බව ත්‍රස්ත විමර්ශනේ ඉහල නිළදාරීන් දැනගත්තම මාත් ඒක්ක උසාවී ගිය පහල නිළදාරීන්ට එය වලක්වා ගැනීමට නොහැකි වීමේ චෝදනාව එල්ල වෙන නිසයි.

පහර කෑ බව ඔබ අදිකරනයේ දැනුම් දුන් පසු ත්‍රස්ත විමර්ශන නිළදාරීන් ඔබව ප්‍රතිකාර සදහා යොමුකරාද ?

මම අදිකරණයේ පහර කෑ බව කිවුවත් මහේස්ත්‍රාත් තුමිය මා සම්බන්දයෙන් අදිකරණ වෛද්‍ය වර්තාව කැදවල දින දුන්නේ පහර කෑමට ලක්වුන දිනයේ ඉදල සති දෙකකට එහා දිනයක. එදිනම මාව අදිකරන වෛද්‍යවරයාට යොමුකල හොත් අනිවාර්යෙන් මා පහරකෑමට ලක්ව සිටින බව ත්‍රස්ත විමර්ශනේ නිලදාරීන්ට සගවන්න අපසුයි. අදිකරණය ඒ වෙලාවේ කරේ ත්‍රස්ත විමර්ශනේ නිළදාරීන්ගේ වාසියට දීර්ග දින දාල අදිකරන වෛද්‍ය වාර්තා කැදවීම. (TID) නිලදාරීන් පහර දීමෙන් පසු සතියක් යනකම් පෙනඩෝල් පෙත්තක් වත් දුන්නේත් නෑ අදිකරණ වෛදයවරයට දැම්මෙත් නෑ. රතු කුරුස සංවිදානෙන් අපිව මාසෙකට සැරයක් බලන්න ආවම දෙන සිද්දාලේප කුප්පි තමයි කෝකටත් තයිලය විදියට තියෙන්නෙ.  උදේට හවසට කුඩා ග්‍රොසරි බෑග් වලට දාල බීම බටයකින් බොන්න දෙන උණු තේ එකෙන් පහර කෑ ස්තාන උනුසුම් කරල  සිද්දාලෙප ගානව. පහර දීමෙන් පස්සේ මමත් සරත් කුමාර සහෝදරයත්,ජනක සහෝදරයත්, කාන්තාවන් රඳවළ හිටපු පැත්තේ ශෙල් එකකට දැම්මෙ. මවුබිම පුවත්පතේ වැඩ කරමින් ඉද්දි අත් අඩංගුවට ගැණුනු පරමේෂ්වරී සහෝදරිය තමයි එතනදි පෙනඩෝල් පෙත්තක් හරි දුන්නෙ. 

සතියක් විතර එහෙම තියල උදේක මමත් ජනකත් සරතුත් උදේක අදිකරණ වෛද්‍ය වරය ලගට යොමුකරා. යොමුකිරීමට පෙර ත්‍රස්ත විමර්ශනේ නිළදාරී ආබ්දීන් මට තර්ජනය කරා අදිකරණ වෛද්‍ය වරයට පහරකෑම් කිසිවක් නොපවසන ලෙස සහ අපේ සිද්දියට ආදාල සියලුදෙනා රිමාඩ් බන්දනාගාර ගතකිරීමට ඔවුන් සුදානම් බවත් යම් හෙයකින් පහර කෑම් සම්බන්දයෙන් අදිකරන වෛද්‍ය වරයාට පැමිණිලි කරන අය දිගටම කොලඹ ත්‍රස්ත විමර්ශනයේ රැදවුම් නියෝග මත රඳවා ගන්නා බවත්. අපෙන් පාපොච්චාරන කෙසේ හෝ ලබා ගන්නා ලෙස ත්‍රස්ත විමර්ශනයේ නිළදාරීන්ට නියෝගකොට ඇත්තේ එවක පොලිස්පති තුමා බවත් ඒ නිසා කුමන සෙල්ලන් දැමුවද පාපෝච්චාරණය ලාබා නොදී රිමාන්ඩ් බන්දනාගාර ගත නොකරණ බවත් සදහන් කරා. 

අදිකරණ වෛද්‍ය වරයා ඉදිරියට මම ඉදිරිපත් කල අවස්තාවේ ආබ්දීන් මාගේ ලගින්ම බලාගෙන හිටිය මම වෛද්‍යවරයට කියන දේ අහගන්න. අහම්බයකින් වගේ එතන හිටපු අදිකරණ වෛද්‍ය වරිය දමිළ කාන්තාවක්. ඇය මගේ උඩුකය නිරුවත් කරල පරික්ෂාකරල පහර දුන්න නේද කියල මගෙන් අහුවම මම කරේ ආබ්දීන්ගේ මූන දිහා බලපු එක විතරයි. වෛද්‍යවරිය ආබ්දීන්ට එලියට යන්න කියල කාමරේ දොරවහල මගෙන් විස්තර අහගත්ත. ඉන් අනතුරුව ඇය නියෝග කරා ත්‍රස්ත විමර්ශනේ නිලධාරින්ටඒ මොහොතෙම මාව කොළඹ ජාතික රෝහලට යොමුකරන්න. ආබ්දීන් ඇතුලු නිළදාරීන් දත්මිටි කමින් තමයි මාව රෝහලට රැගෙන ගියේ. තෝ එතනදි දොස්තරලට කිවුවොත් නම්  ජීවත් වෙන අන්තිම දවස කියල මතක තියාගනින් කිවුව. ජාතික රෝහලේදි මාව පරීක්ෂා කළ වෛද්‍ය වරිය මගෙන් පහර දුන් නිළදාරීන් කවුද ? කොහොමද පහරදුනේ ? කියල අහද්දි මං මුකුත් කියන්න ගියේ නෑ. හේතුව මම දන්නව ආබ්දීන් කියන්නේ මිනීමරු නිළදාරියෙක් බව. කේසේ වෙතත් ඒ වෛද්‍යවරිය මා රැගෙන ගිය ත්‍රස්ත විමර්ශනේ නිළදාරීන්ට හොද  ලෙක්චර් එකක් දීලා මාගේ මාංචු ගලවන්න කිවුවා මතකයි. ඒ නිලදාරීන්ගෙන් අහුව මේ වයසේ දරුවො ඔයාලටත් ඇතිනේ කොහොමද මෙහෙම ගැහුවේ කියල. ඒ හැම දෙයකටම ත්‍රස්ත විමර්ශනේ නිළදාරීන්ගේ පිලිතුර වුනේ මම සිංහල කොටියෙක්  කියන එකත් දේශද්‍රෝහීන් කියන එක විතරයි. වෛද්‍යවරිය ඒවට ඇහුම්කන් දුන්නේ නෑ. ඇය මාව පරික්ෂා කරල මගේ කණ් බෙරය පැලී ඇති බව පවසල බෙහෙත් නියම කරල නැවත දින දුන්න පරීක්ෂා කරන්න එන්න කියල. 

එදා දීපු බෙහෙත් ක්ලිනික් කාඩ් සියල්ල නිලධාරීන් ඔවුන් භාරයට ගත්ත මට ඒ කිසිවක් ලබාදුනේ නෑ. (TID) එකට නැවත රැගෙන ගිහින් පහර දුන්න එක තමයි ඔවුන් කරේ.

අවසානේ පාපොච්චාරණයට ඔබත් අත්සන් කලාද ?

ත්‍රස්ත විමර්ශන ඒකකය අත් අඩංගුවට ගත්තොත් දෙවියන්වහන්සේගෙන් උනත් පාපොච්චාරණයට අත්සන් ගන්නවා.ඒක නිදහස් කරන බවට බොරු පොරොන්දු දී  රැවටීමේන් , පහරදීමෙන්, පවුලේ අනෙකුත් අය අත් අඩංගුවට ගන්නාවා යැයි බිය ගන්වමින් විවිද ආකාරයේ බලපෑම් මත ඒ දේ කරණවාම තමයි. එතනදි වැරදි කරුවෙක්ද නිවැරදි කරුවෙක්ද යන්න අදාලම නෑ.නිකන් නිකරුනේ නඩු පටලවපු දෙමල මිනිස්සු කොච්චර හිටියද. සමහර සිද්දිවල නියම වගකිවයුත්තො අහුවෙනකොට ඒවට නිකරුනේ සමහර පුද්ගලයන්ට නඩුත් පවරල ඉවරයි. මම දිගින් දිගටම පහර කෑමේන් දුර්වල වෙලා හිටපු නිසාත්,  පාපොච්චාරනේට අත්සන් නොකලොත් එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි මගේ සහෝදරියට හිරි හැර කරන බව  සහ මගේ පෙම්වතිය මාගේ දේශපාලන වැඩ වලට සම්බන්ද යැයි පටලවා අත් අඩංගුවට ගන්න බව (TID) නිලධාරීන් මට තර්ජනය කරපු නිසාත් මටත් අත්සන් කරන්න වුනා. මම බොහොම වගකීමෙන් කියනව ඒ වෙනකොටත් අප සමග අත් අඩංගුවට ගත් සගයෙකු ගේ සමීප සම්බන්දයක් තිබුනු ස්ත්‍රියක් අත් අඩංගුවට ගන්න බවට බිය වද්දල දූෂනය කරල තිබුන. ඒවා සමාජයෙන් යටපත් කරල තියාගන්න අවශ්‍ය නැහැ නමුත් ඒවා නීතිය ඉදිරියට ගෙනැල්ල හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නෑ. අපි කවුරුත් මැරිල නෑ ඒ නිසා  ඒවා කරපු උදවියට දවසක් එයි. කොහොම වුනත් එතන නිලධාරීන්  ව්‍යාජ ලෙස සකසපු ප්‍රකාශ වලට අත්සන් ගැනීමට එරෙහිව අපි කිහිප දෙනෙක් අභියෝග කරා. පුයර බබාල වගේ ඕක දීපු අයත් හිටිය. එක එක්කේනාගේ පරිමාව සම්බන්දයෙන් කාටවත් දොස් කියන්න බෑ. එදා අපි කිහිප දෙනෙක් හරි අභියෝග කරපු නිසා තමයි නඩු කටයුතු වලින් අපට නිදහස් වෙන්න පුලුවන් වෙන්නෙත්. බලහත් කාරය මත (TID) නිළදාරීන් විසින් සකසපු ප්‍රකාශ (පාපොච්චාරන)  වලට මට අත්සන් කරන්න සිදුවුනා.  මම ඒ ප්‍රකාශයේ තිබ්බේ මොනවද කියල දැනගත්තේ 2012 දි යාපනය මහාදිකරණේ නඩුවේ චෝදනා පත්‍රේ මගේ අතට ලැබුන දවසේ. 

සාකච්චා කරේ |අකුණ| 

සාකච්චාවේ මීලග කොටස ඉදිරියට..

         

Share this

Related posts