අපට හිනැහෙන්නට අවශ්‍යයි…

පි ජීවත් වන්නේ ප්‍රාර්ථනාවන් ගොන්නක් ඉදිරියේ තබාගෙනයි. යහපත් ජීවිතයක්, සාධාරන සමාජයක්, කෙටියෙන්ම කියතොත් සුන්දර ලෝකයක් පිළිබඳ සිහිනයන් තුලයි. ඒ සඳහා අකුරුත්, හඬත් කඩදාසි මත හා භාෂාවේ ඇති ලස්සනම වචන තොග පිටින් මුදාහරී. මෙම කියවීම අවුරුදු ගණනාවක් පුරා දෛනිකව සිදු වේ සහ සිදුවෙමින් පවතී.

නමුත් සිදුවී ඇත්තේ කුමක්ද? ප්‍රාර්ථනාවන්, ප්‍රාර්ථනාවන් හැටියටම පවතින අතර තමන්ගේ දෛනික හැසිරීම් තුළත්, සමාජ ක්‍රියාකාරීත්වය තුළ මෙන්ම තමන්ගේ ජීවිත තුළද කිසියම් වෙනසක් සිදුනොවේ. හැම දෙයක්ම බේරෙ වැව මෙන් නිසලය, සන්සුන්ය.මේ සන්සුන් නිසලභාවය තුල තිබෙන පල් ගඳ ගහන මඩ ගොහොරුව මෙන් අපේ ජීවිත කැතයි,දෙබිඩියි. දෛනිකව මරා දමනු ලබන ගැහැණු පිරිමි ළමා ළපටිනගේ ගණන් හිලවු උණුසුම් පුවත් තුලින් බලා සුපුරුදු ලෙස කකුල් පටලවා බුදියගන්න අපට බලකරයි. ඊනියා පරිභෝජනවාදී තුප්පහි සංස්කෘතිය සමාජයේ සියළු හරපද්දතීන් බූවල්ලෙකු සේ ආක්‍රමණය කරමින් සිටින අතර, නිම නොවන කාලකණ්නි භාවයක් අපව වෙලාගනිමින් පවතී මේ නිසාම අපේ ඇත්ත උවමනාවන් යටපත්වී ආත්මාර්ථකාමී උවමනාවන් ඉස්මතුවෙයි. හැම කෙනාම බලන්නේ අනෙකාව පාගගෙන, හපාගෙන, විකාගෙන හෝ ඉදිරියෙන් සිටින්නයි. ඒ සදහා අවශ්‍ය පරිසරය, වටපිටාව දේශපාලකයන්යැයි කියාගන්නා පිරිස් සහ එම ධනපති පක්ෂ ඕනෑවටත් වඩා හොදින් නිර්මාණය කරමින් පවතී. මේ සියළු දේ තුල අපේ සියළුම මිනිස් හරපද්දතීන් අපට අහිමිව යන බව අපට නොදැනෙන්නේ රටේ සිටින විදග්ධ යැයි පවසා ගන්නා අවස්ථාවාදී තක්කඩි රැල එම දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් සංතර්පනය කිරීම සදහා ජාතිවාදය මෙන්ම වර්ගවාදයද උත්කර්ෂයට නන්වමින් අපව තව තවත් මං මුලා කරමින් සිටින බැවිනි.

මුළු සමාජයම නිර්වින්දිත තත්වයට පත්කිරීමේ ධනපතියන්ගේ උවමනාවට අනියම් ආකාරයෙන් සහයෝගය දෙන්නේ වාමාංශිකයැයි කියාගන්නා කොටස්ය. ඔවුන් ප්‍රශ්ණයේ කේන්ද්‍රයට ප්‍රවිශ්ඨ නොවී කැරකි කැරකී අනවශ්‍ය ප්‍රශ්ණ මතුකරමින් අවශ්‍යම ප්‍රශ්ණය මගහරින්නේ වටෙටම බුරාගෙන ගොස් අවශ්‍යතැන මගහැර බොරැවට උඩුබුරන බල්ලන් සේය. විවිධ කාලවලදී විවිද පුද්ගලයන් හා කණ්ඩායම් ඉතාම අභීත ලෙස ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රශ්ණයේ කේන්ද්‍රයට ප්‍රවිශ්ඨ වීමට බරපතල මැදිහත් වීම් කරනු ලැබ තිබුනි. නමුත් රටේ ප්‍රධාන වාමාංශික යැයි කියාගන්නා පක්ෂ විසින් කරනු ලැබුවේ ඒවා සූක්ෂම ලෙස යටපත්කර ධනපති ආණ්ඩු සමග එකතුවී මර්ධනය කර දියකර හැරීමය. මෙවැනි වාමාංශික පක්ෂ වලට අවශ්‍ය වනුයේ මේ මොහොතේ තියෙන ආතල් එක කඩා නොගෙන ඇග නොරිද්දගෙන මේ සිස්ටම් එකේම ඉදගෙන මේ සිස්ටම් එකටම අනුගත වෙලා එයට විරැද්ධ වන්නටය. නමුත් අපට අමතක වන හෝ දැනුවත්ව අමතක කරන දෙය නම් මේ සිස්ටම් එක ඇතුලෙ වඩා හොද මිනිස් සමාජයකට කිසිදු ආකාරයක ඉඩක් නොමැති බවය. ඉතිහාසය පුරා ලෙයින් යකඩින් මර්ධනය කළ අරගල තුනකදී අභීත මිනිසුන් සිය ජීවිත පූජාකර ඇත්තේ වඩා හොද මිනිස් සමාජයක් වෙනුවෙනි. මේ ධනපති පක්ෂ සමග එකගෙයිකන වාමාංශිකයන්ට අවශ්‍ය වනුයේ තවත් එවැනි ලේ වැගිරීමක් විය හැකිය. අප සමාජය ඕනෑවටත් වඩා ඒ වෙනුවෙන් ජීවිත පුජාකර ඇත. ඉදිරි අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා මිස ඉන් මෙපිට පිලිතුරු නැත. මන්ද අපට හිනැහෙන්නට අවශ්‍යය.

|ප්‍රියන්ත ගුණරත්න|

Share this

Related posts