02. අපේ වේදනාවේ දෑස් තේරුම්ගන්න ! | ක.වේ. බාලකුමාරන්

කොහෙද යන්නෙ ? 
“ගෙදර යනව”
මොකටද ගෙදර යන්නේ ? 

මේ ප්‍රශ්නයට දෙවියන්ටද පිලිතුරු දිය නොහැක. කළ හැක්කේ අහිංසක ලෙස සිනාසීම පමණි. (මෙය යාපනයේ හමුදා මුරපොළක සෙබළෙකු හා සාමාන්‍ය වැසියෙකු අතර වූ සංවාදයකි.)

ආදරනීය සිංහල ජනතාවනි,

කාලයක් මුළුල්ලේ අපේ සිතේ කැකෑරෙන සිතුවිලි තේරුම් ගන්නැයි අපි ඔබෙන් ඉල්ලමු. නමුත් එය තේරුම් ගන්නයි අපි ඔබෙන් ඉල්ලමු. නමුත් එය තේරුම් ගැනීමට ඔබ අතරේම සිටින ඇතෙමෙකුට දුෂ්කර බව අපට පෙනේ. තවත් අයෙකුට එය පිළිගැනීමට දෙගිඩියාවක් ඇති බවද පෙනේ. ඇතැම් ප්‍රතිචාර ආවේගශීලී බවක්ද උසුළයි. පෙර ලිපිය අප නිර්මාණය කලේ මේ බවද සඳහන් කරමිනි. (01. හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ)

පෙර ලිපිය කියවා අපගේ සිතුවිලි ගැන නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට දැන් ඔබට ඉඩක් ලැබී තිබේ. කල්පනා කර බලන්න සොහොයුරනි, එක්දහස් නමසිය හතලිස් ගණන්වල දී සිංගප්පූරුව ලංකාවක් බවට පත් කරන්නට ලී ක්වාන් යූ කල්පනා කළේ යැයි ඇතැමුන් කියයි. නමුත් අද සිදු වී ඇත්තේ කුමක්ද ? ඉතා මෑතකදී නිදහසේ ස්වර්ණ ජයන්තිය සැමරූ මේ තරුණ රට එකවරට වියපත්ව, රෝගීව ඇදවැටී ඇත්තේ මන්ද ? නොබෝදා අගමැති රනිල් වික්‍රමසිංහ ඔබ අමතා කළ කතාව ආරම්භ කළේ මෙසේය: 

“පුරුද්දක් වශයෙන් අපේ රටේ ප්‍රශ්න ගැන අපි ගැඹුරින් කතා නොකරමු.ප්‍රශ්න මතුවන විට අපි එවා මඟ හැර යමු. ඇත්ත තත්වය අපි වසන් කරමු. අද උතුරු- නැගෙනහිර ප්‍රශ්නය, නීතියේ ආධිපත්‍ය කඩා වැටීම, මූල්‍ය හා ආර්ථික බිඳ වැටීම යනාදිය භාරදූර තත්වයන් උදාකර ඇත. මේවා එකිනෙක මත ගොඩ ගැසී තිබේ. අප අද විසඳුම් සොයාගත යුතුව ඇත්තේ මේ සියල්ලටමය. කොතරම් දෝෂාරෝපණ එල්ල වුවද, සම්ප්‍රදාය බිඳ දමා ඇත්ත කතා කිරීමට මා තීරණය කලේ ඒ නිසාය.”

ඔහු ප්‍රකාශ කළ ඇත්ත කුමක්ද ?

“ඉකුත් වසරේ ආර්ථිකය පළමුවරට ඉතාමත් පසුපසට ගමන් කර තිබේ. ආර්ථික  කේෂ්ත්‍රයේ සෑම අංශයක්ම අවසන් හුස්ම හෙළමින් පවතී. අසීමිත නය බරින් අප හෙම්බත්ව සිටිමු. රජයේ ණය බර ඇදහිය නොහැකි තරමට ඉහල ගොස් තිබේ. වසර ගණනාවක්ම රජය පවත්වාගෙන ගොස් ඇත්තේ ණයවලින් මිස ආදයමින් නොවේ. රටේ අභ්‍යන්තර ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයද ඉක්මවා ගොස් ඇත. අද රජයේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 103.6 % කි. ණය සහ පොළී වශයෙන් මේ වසරේ පමණක් ගෙවීමට සිදුව ඇති මුදල රුපියල් කෝටී 32,700 කි. නමුත් රජයේ ආදායම රුපියල් කෝටී 27800 කි. දැන් ඇත්තේ ලබාගත් ණය ගෙවාගත නොහැකි තත්වයකි. මේ වසරේ ණය ද එකතු කළහොත් ඔබ සැම අයෙක්ම රු 83000 ක ණය කරුවෙක් වී තිබේ. 

පළමුවරට ඔබ සියල්ලන් සත්‍ය හොඳින් හා පැහැදිලිව තේරුම්ගෙන ඇතැයි අපි සිතමු. ඔබ විසින් පත්කළ නියෝජිතයන් විසින් ගෙනගිය පාලනය කොපමණ දූෂිත එකක්දැයි ඔබටම වැටහෙනවා ඇත. 

දැන් අපි කෙලින්ම කාරණාවට එලඹෙමු. සියළු සම්පත් ස්පිරුණු, තෙතමනය සහිත පොළොවක් තිබූ දේශයක්, වියළි ගොස් රුධිර ගංගාවක අප සියල්ලන් ගිලී යන්නට හේතු වූයේ කුමක් නිසාද ? ඉතාමත්ම  සංකීර්ණවූ ද, හැඟුම්බරවූ ද, කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි යැයි ඔබ කල්පනා කරන්නාවු ද, දෙයක් පිළිබඳව විවෘත මනසකින් ඔබ හා දැන් අප කතාකරමු. මිත්‍යාවෙන් මිදී, විවෘත මසකින්, ඓයිතිහාසික සාක්ෂිවල ආලෝකයෙන් සහ නවීන චින්තනය තුලින් ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නට ඔබ සුදානම්ද ? එසේ නම් අප කියන දේට කන් දෙන්න. මෙහි පවතින ජාතීන්ගේ ප්‍රශ්නයට හේතුව වන්නේ මේ දිවයින එක ජාතියකට, එක ආගමකට, එක භාෂාවකට අයිති යැයි පවසන මතවාදයයි. පදනම් විරහිත ඉතිහාසය කතා බොහොමයක් ලියවී ඇත්තේ මේ මතය සනාත කිරීමටයි. එයින් සිදුවී ඇත්තේ මේ රට තුල බහු ජාතික, බහු ආගමික පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ අනුව මේ රටේ ආදීම මුතුන් මිත්තන් වන්නේ ඔබ පමණක්ද ? එසේ නම් ඔබ මේ රටේ භූමි පුත්‍රයන් වී අප විදේශයෙන් කඩා වැදුණු හුදු සංක්‍රමණික ජන කොඨ්ඨාශයක් වනවා නේද ? දෙමළ අප දෙස බලන්නට ඔබට පුරුදු කළේ පිළිකුල් සහගත ආක්‍රමණිකයන් පිරිසක් ලෙස නොවේද ?

එක ජාතියක් පමණක් උසස් කොට සළකන මේ මතවාදය ඔබව ගෙන ගියේ කොතැනටදැයි ඔබම සිතා බලන්න. මේ චින්තනය ඔබේ මනස තුල ගොඩනැගීම මගින් අනෙක් ජාතීන් යටපත් කිරීමේ විකෘති ආකල්පය ශක්තිමත් කර අපව අගාධයට ඇද දමනු ලැබීය. මේ තත්වය සාදාරණ යැයි කීමට ඔබේ සමාජයේ බුද්දිමතුන්ව පවා පොලඹවන ලද්දේ මේ අධිපති චින්තනයයි. දැවැන්ත යුද්දයක් හරහා අප සියල්ලන් විනාශයේ දොරකඩට ගෙන එන ලද්දේ මේ අධිපති චින්තනයයි.

එක මොහොතක් පසුගිය ඉතිහාසය දෙස හැරී බලන්න ! මිත්‍යාවන් මත ගොඩ නැගූ දේශපාලනය හා මාන්සිකත්වයන් මිශ්‍ර කොට දේශපාලකයන් හා ඇතැම් ආගමික නායකයන් විසින් මනෝමය බලකොටුවක් තනන ලදි. එම බලකොටුව වැටලීමට එන සතුරා වශයෙන් දෙමළ අපව මවා පෙන්වන ලදි. නවීන අවියෙන් සන්නද්ධ අති විශාල හමුදාවක් ගොඩනංවන ලද්දේ අපට එරෙහිව සිංහළ ඔබේ යහපත පිණිස යැයි කියමිනි. මේ සියල්ල සිදුකොට අවසානයේදී ඔවුන් ඔබට කීවේ කුමක්ද ? ජයග්‍රහණය අත් පත් කරගත් බවක්ද ? පසුගිය ජූලි 04 වැනි දා අගමැති වික්‍රමසිංහගේ කතාවෙන් ඔබට ඇති වුණු හැඟීම කුමක්ද ? ඔහු කතාකලේ ජයග්‍රහණයක් ගැනද ? විනාශයක් ගැනද ? 

ඇත්තෙන්ම සිංහල සොහොයුරන වූ ඔබට අභිමානවත් ඉතිහාසයක් තිබේ. නමුත් එවැනි ඉතිහාසයක් හිමි ඔබ මෙතරම් විනාශයකට ඇද වැටුණේ කෙසේද ? මේ ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. සෑම සිංහළ දූ දරුවෙක් විසින් අනිවාර්යයෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.  එයට පිළිතුර ඔබේ පාලකයන්ගෙන් හා බුද්ධිමතුන් යැයි  කියා ගනන්ගන්නන්ගෙන් ඔබ ඇසිය යුතුව තිබේ. සියල්ලටම හේතුව “කොටි” බව කියා ඔවුන්ට ගැලවී යා නොහැකිය. නීති විශාරද එච්.එල්.ඩී. සිල්වා , ගණිත මහාචාර්ය  නලීන් ද සිල්වා හිටපු ප්‍රගති ශීලියෙක් වන සුසන්ත ගුණතිලක , චම්පික රණවක, එස්.එල්. ගුණසේකර, තිලක් කරුණාරත්න, විමල් වීරවංශ, Island හා දිවයින පුවත්පත්වලට ලිපි ලියන්නන් ආදී සියල්ලන්ගෙන් මේ ප්‍රශ්නයට ඔබ පිලිතුරු ඉල්ලා සිටිය යුතුය. මේ විනාශකාරී තත්වයට ඔවුන් වගකිව යුතුය. මේ අධිපති මානසිකත්වය නිර්මාණය වූයේ විකෘතිකල ඉතිහාසය හා එයින්ම බිහි වූ මහා ජාතිවාදයෙනි. ඔබව නොමඟ යැවීමෙන් ගළවා ගැනීමේ වගකීමක් අපට තිබෙන බව අපි තරයේ විස්වාස කරමු. සැබෑ ඉතිහාසය ඔබ හමුවේ තැබීමටත්, අප ගැන ඔබ තුළ ඇති කර තිබෙන බිය සැක දුරු කිරීමටත්, ඇත්ත ඇති සැටියෙන් කීමටත් මෙලෙස අප ඉදිරිපත් වන්නේ ඒ නිසාය. 

පෙම්බර සොහොයුර, සොහොයුරිය, 

අප ගැන ඔබ තුල තර්කානූ කූලව හටගත් මානසික ගැටුමෙන් ඇති වූ බියත්, කෝපය මුසු සැකයත් දිගු කලක් මුලුල්ලේ පවතින බව අපි හඳුනාගෙන සිටිමු. අප එය තර්කානූ කූල යැයි කියන්නේ දෙමළ අප පිළිබඳව ඔබ තුල මවා ඇති වැරදි ප්‍රතිරූපය නිසාය. ඉන්දියාවෙන් ආ සියළුම ආක්‍රමණිකයන් දෙමළ යැයි අර්ථකතනය කර දෙමළ ජනයා පිලිබඳ අනියත බියක් ඔබ තුල ඇතිකර තිබේ. යුරෝපීය ආක්‍රමණයන්ගෙන් ඔබේ පැවැත්මට සේම දෙමළ ජනයා වන අපේ පැවැත්මටද පීඩනයක් එල්ල වූ බව ඔබෙන් වසන් කර තිබේ. එපමණක් නොව, දෙමළ අප යුරෝපීයන්ගෙන් වැඩි වරප්‍රසාද ලබාගත් බවට මිත්‍යාවක් පතුරා අප දෙපිරිස අතර විරසක බවක් නිර්මාණය කොට තිබේ. 83 කලු ජූලියේ ඛේදවාචකයට පසුව ඇති වූ ඉන්දියානු මැදිහත් වීම නිසාද සිංහළ ඔබට බියක් ඇති කෙරුණි. සන්නද්ද අරගලයක් මගින් විමුක්ති කොටි සංවිධානය මහා ජීවිත වන්දියක් ගෙවා දෙමළ ජනයාගේ උපන් ගම් බිම් හමුදා ආක්‍රමනයෙන් නිදහස් කරගත්විට ද එය ඔබට හුවා දැක්වූවේ ඔබේ පැවැත්මට තර්ජනයක් වශයෙනි. මේ සියල්ල එකතු වීමෙන් හැදුනු නොපෙනෙන මහා යක්ෂයෙකුගෙන් පිඩා විදින මානසිකත්වයකට ඔබ ඇද වැටුනි. මේ මානසිකත්වයෙන් මිදීමට ඔබ අතර සිටින බොහෝ දෙනෙක් අරගල කරනු පෙනේ. මේ අනියත බියෙන්, සැකෙන් මිදී සත්‍ය අවබෝධ කරගන්නට ඔබ අතරින් බොහෝ දෙනෙක් උත්සහා කරමින් සිටීම අපට මහත් සැනසිල්ලකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ, සිහල උරුමය(දැන් ජාතික හෙල උරුමය) සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා මේ මොහොතේත් මහා යක්ෂයෙකු මවා පෙන්වමින් ජාතිවාදී විෂම වමාරමින් සිටියි.

දෙමළ ජනයා අතර මහත් සේ ගෞරවයට පාත්‍ර වන මාධ්‍ය කරුවකුගේ පුතෙකු වූ දයාන් ජයතිලකට මේ තරම් ජාතිවාදය වැපිරිය හැකි දැයි දෙමළ ජනයා කම්පාවෙන් යුතුව විමසති. දෙමළ ජනයා ගැන පිළිකුල් සහගත ලෙස ලිවීමෙන් හිංසා කරන සුසන්ත ගුණතිලක, නලීන් ද සිල්වා වැන්නන් බුද්දිමතුන් ලෙස සැලකිය හැකිදැයි දෙමළ ජනයා ප්‍රශ්න කරති. දෙමළ ජනයාගේ ගැටලු වලට විසඳුම් සදහා උපදෙස් දෙන මුවාවෙන් ස්ත්‍ය වසන් කරන පෝල් හැරිස් වැන්නන් ස්වාධීන මාධ්‍ය කරුවන් ලෙස පිළිගත හැක්කේ කෙසේ දැයි දෙමල ජනයා පුදුම වෙති. ඔබ බොහෝදෙනා සත්‍ය වටහා ගනිමින් සිටින මොහොතක ඉහතින් කී අයගේ ක්‍රියා කලාපයන් අපට පෙනෙන්නේ ඒ අවබෝධයට බධා කරන බරපතල තර්ජනයක් ලෙසිනි.

අප ගැන පතුරන ඉහත කී ආකාරයේ විසකුරු ප්‍රචාරයන් පිටුපස ඇති මූලික අවශ්‍ය තාවය නම් අපගේ සාමකාමී ජන ජීවිත රටාව විනාශ කිරීමයි. නමුත් දේශපාලකයින් හා ඊනියා බුද්දිමතුන්ට වඩා තියුණු දැක්මකින්, විවෘත මනසකින්, යථාර්තවාදීව අපව තේරුම් ගනිමින් සිටින ඔබව අපි ආදරයෙන් වැළැද ගනිමු. මීටත් වඩා කරුණු කරණා ගැන ඔබ හා පැහැදිලිව කතාකරන්නට මේ ලිපි පෙළ අපි යොදාගනිමු. ඒ සත්‍ය නිරාවරණය කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි. 

(ක.වේ. බාලකුමාරන්) 
නැවත සටහන් කිරීම |අකුණ| 

පෙර ලිපි මාලාව,

01. හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ. | ක.වේ. බාලකුමාරන්

   

 

Share this

Related posts