මිහිපිට අපායක වෙසෙන ලාංකීය පොදු සිරකරුවාගේ ඉරනම.

 |වෙලේ සුදාගෙන් අවසන් කළ කොටස අපි නැවත ආට් සුදාගෙන් පටන් ගනිමු. (02 කොටස)| 

කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ රැඳවීමට හැකි ඉඩ කඩ ඇත්තේ 270 වකට පමණක් වුවද එක් දහස් දෙසීය ගණක් රඳවා තිබිණි. වැලිකඩද රදවා ඇති ගණන පහසුකම් ඇතිවාට වඩා හතර ගුණයක් වැඩිය. මොවුන්ට යහපත් සෞඛ්‍ය පවා පවත්වාගත නොහැක්කේ අවශ්‍ය ජලය ප්‍රමාණය තබා වාතාශ්‍රය මෙන්ම වැසිකිළි යාමටද බොහෝ විට ජල පහසුකම් නොමැති වීමෙන් සිර ගෙය මෙලොව අපායක් බවට පත්ව ඇත. (එල් වාට්ටුව මෙයට හොඳම උදාහරණයකි. හැකිනම් කිසිවෙකුටත් කලින් නොදන්වා නිසි බළධාරියෙකු හෝ මහෙස්ත්‍රාත් වරයෙකු හෝ විනිශ්චයකාරයෙකු එහි ගොස් පරීක්ෂා කරන්න. ඔබ අවංක පුද්ගලයෙකුනම් තව දුරටත් තමන් දරණ තණතුරේ සිටින්නේ නැත. එය මිනිසෙකුට සිතා ගත නොහැකි තරම්ය)

මහෙස්ත්‍රාත් වරයෙක් හිරගෙය පරීක්ෂා කිරීමට පැමිණියහොත් (එය ඔවුන්ගේ රාජකාරියේ කොටසකි) ඔහුට එහි යථා තත්ත්වය දැක ගත නොහැක්කේ ලකුණු රැස් කිරීමේ තරගයේ යෙදී සිටින අධිකාරිවරු බහුතරය එදාට එක්කෝ පංසලේ ගායනා පුහුණුවක් හෝ අවිධිමත් අධ්‍යාපන පංතියක් හෝ භාවනා වැඩසටහන් සංවිධානය කර බොරුව මවා පෙන්වීමෙනි. පැමිණෙන මහෙස්ත්‍රාත් වරුන්ද සිරකරුවන්ගෙන් පහසුකම් විමසන්නේ නැත. විමසුවාට වැඩක් නොවන්නේ අදාල සිරකරුවන් පළිගැනීමට ලක්වන බැවින් සත්‍ය ප්‍රකාශ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බැවිනි. කෙසේ වෙතත් මා කළින් සඳහන් කළ ඉඩ ප්‍රමාණය සහිත එක් අයෙකු රඳවන කුටියක සය (06) දෙනාගේ සිට දොලොස් (12) දෙනා දක්වා රඳවනු ලබයි. මී හරකුන් ප්‍රවාහණයේදී සිදුවන සාධාරණයවත් රඳවා ඇති සිර කරුවන් වෙත ලබාදීමට රජයන් හෝ අධිකරණ පද්ධතිය සමත්ව නැත. (ලියුම්කරුවන මමද ඇතුලු කිහිප දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එච් වාට්ටුවේ යන්තම් වාඩිවීමට පමණක් ඉඩ ඇතිව සෙළවීමට හෝ නොහැකිව එක් දිනක් පහන් කර ඇත. සාමාන්‍යයෙන් වැසිකිළි යාමේදී පාවහන් පළඳිය යුතු වුවද එහි වැසිකිළියට යාමේදී පාවහන් ගලවා ඇතුළු විය යුතුය. මන්ද රාත්‍රියට සිරකරුවන් රෙදි කැබලි තෙමා එයින් වැසිකිළිය පිරිසිදු කර ඒ තුළ නිදා ගනිති. ඒ අධිකරණ තීන්දුවකින් සිරගත කල පුද්ගලයන් වීමේදී අධිකරණයට මේ සඳහා කිසිවක් ප්‍රකාශ කිරීමට ඇතිදැයි මම නොදනිමි. ඒ බන්ධනාගාරයේ ඉඩ සහ පහසුකම් පිළිබඳ එක් උදාහරණයෙකි.) මෙම ප්‍රකාශය යම් අයුරකින් පවතින නීතියට විරුද්ධ විය හැකි වුවද යථාර්ථය එයයි.

(සමහර වාට්ටුවල සැකකරුවන් පැත්ත හරවා නිදි කරවා ඉඩ මදිකම නිසා අවසන් සැකකරුවා ඒ මැදට ඔබා කකුලින් පාගා සිර කරන බව දන්නේ සිර සැක කරුවන්ම පමණි. මේ සිරකරුවන්ට අනෙකුත් වරප්‍රසාදිත සැකකරුවන් වන මිනීමරු නියෝමාල් රංගජීව හෝ එමිල් රංජන් අධිකාරිවරයාට මෙන් බන්ධනාගාර නිළධාරීන්ගේ විවේකාගාරයේ රැඳවීම් ලබන්නට දේශපාලන හයියක් හෝ චන්ද්‍රජිත් ධනසිංහ වැනි කොමසාරිස් යාළුවන් නැත. ( අනිවාර්‍ය්‍ය නිවාඩු යවා ඇති එමිල් රන්ජන් අධිකාරි වරයා තවමත් තම නිළ නිවස භාර දී නැත්තේ තමන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට සහාය දුන් දේශපාලන හිතවතුන් ළඟඳීම බේරාගන්නා බව ප්‍රකාශ කර ඇති නිසාද එසේත් නැතිනම් එමිල් රන්ජන්ගේ ගුරුවරයා වන වත්මන් බන්ධනාගාර අධිකාරි විසින් නීති විරෝධී අයුරින් තවමත් නිළ නිවසේ සේවය සඳහා සිරකරුවන්ද යවමින් සිටින්නේ කුමන පදනමක් මතද? තමා අධිකාරිවරයාව සේවය කරමින් සිටි කොළඹ බන්ධනාගාර පද්ධතිය තුළම රඳවා තබාගැනීම තුළ ඔහු ලබා ගන්නා විශේෂ වරප්‍රසාද මේවා පමණක් නොව.) කෙසේ හෝ මෙලෙස රංගජීව සහ එමිල් රංජන් බන්ධනාගාර විවේකාගාරය තුළ රැඳෙමින් අළුත් ෆෝන් පාවිච්චි කරමින් නව ෆේස් බුක් ගිණුම් හරහා තම සාක්ෂි කරුවන්ට තර්ජනාත්මක ප්‍රකාශ කරමින් සිටින බව බන්ධනාගාරයේ කුණු අදින සමන් ගමගේට තවම ආරංචි වී නැති සැටියෙකි. එය සමන් ගමගේ නොකියා සිටින්නේ ඔහුගේ නීති පොතේ එසේ නැති නිසාද? සියළු සිරකරුවන් සමාන වරප්‍රසාදයන්ගෙන් යුක්ත විය යුතු බව ඔහු නොදන්නා නිසාද? (මගේ මතකයේ පරිදි 1974 පමණ වනතෙක් තරු පංතියේ සිරකරුවන් නමින් කණ්ඩායමක් නීත්‍යානුකූලව සිටි අතර සිරිමා රජය පෙරලීමේ කුමන්ත්‍රණ සමයෙදී අදාල පිරිස සිරගත කරන්නට මත්තෙන් එම පංතිය අහෝසි කර ඇතියෙන් කිසිවෙකුටත් විශේෂ වරප්‍රසාද භුක්ති විඳිය නොහැකි බවට වත්මන් බන්ධනාගාර අධිකාරි චන්ද්‍රජිත් ධණසිංහට හෝ සමන්ගමගේ කුළී ලියන්නාටත් අප මතක් කර සිටිමු. සිරගෙදර එක් කුරිරු පාලකයෙක් සිරබත්පතට හිමිකම් කීවා මෙන්ම තව කිනම් නිළධාරියාට එසේ නොවේයැයි අපට කිව හැකිද?.

කෙසේ වෙතත් පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා කියන්නාක් සේම අධිකරණය මගින් සිරගත කරණ ලද මෙන්ම රැඳවුම් නියෝග මත සැකකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි සිරකරුවන් ගැන අධිකරණයට මේ සියල්ලටම එහා ගිය වගකීමක් ඇත. ඒ ඔවුන් මරා දැමුණේ අධිකරණයේ තීන්දුවක් මත රඳවා තිබියදී වීම නිසාය. සියළු දේ වෙනුවෙන් යුක්තිය සොයන අධිකරණය විසින් පරෙස්සමට තැබූ උන් මරා දැමුවේ කවුද යන වග පළමුවෙන්ම සෙවීමේ වගකීම ඇත්තේ අධිකරණය වෙතය. එසේ නොමැතිව අදාල අපාරාධය පිළිබඳව අධිකරණය මගින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළයුතු ගෝඨාභයලා අත්අඩංගුවට නොගන්නැයි වාරණ පැනවීම නොවන්නේය. ජනතාවට අධිකරණයකින් යුක්තිය අයැද සිටිය හැක්කේ එවිටය. එමෙන්ම නීතිය පිළිබඳ ගෞරවනීය හැඟීමක් ජනතාව තුළ ජනිත කරවීම මගින් වගකීම් සහිත සමාජයක් අපේක්ෂා කළ හැක්කේද එවිටය. නීතිය විසින්ම අධිකරණය වෙත පැවරී ඇති උත්තරීතරත්වය තුළ ගැබ්ව ඇති බලසීමාවට සහ දඬුවමට බියෙන් මිනිසුන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය නොකළද ඉෂ්ඨවන යුක්තිය පිළිබඳ ජනතාව සැක සංකා සහිතව බලා සිටිති.

මා මාතෘකා කරගත් ආට් සුදා ඈඳෙන්නේ මෙතැනටය. ඔහු කුඩු උරන්නෙකි. (සාමාන්‍ය ජනතාවට කුඩු උරන්නෙකු මහා ලොකු දෙයක් වූවාට හිරගෙදරට එය සාමාන්‍යයකි) එහෙත් සිංහල භාෂාවෙන් කියතොත් ඔහු අහිංසකයෙකි. කිසිවෙකුටත් ඔහුගෙන් කරදරයක් හෝ හිරිහැරයක් නැත. වසර ගණනක් තිස්සේ වැළිකඩ තොරණට චිත්‍ර අඳින්නේ ආට් සුදාය. ඒ ඔහු හිරගෙදර යාව ජීව සාමාජිකයෙකු නිසාය. ඔහු දැනට එකම වරදට හෙරොයින් මත් ද්‍රව්‍ය පාවිච්චිය පිළිබඳ විසිපස් වතාවක් වත් සිර ගතවී ඇත. එය මේ රටේ සිරකරු පුනරුත්ථාපනයට ඇති ඉතාම සුදුසු උදාහරණය වන්නේ බොහෝ දෙනෙක් ඔහු දන්නා නිසාය. මේ ඒ සඳහා මා තෝරාගත් සාම්පලයයි. මෙසේ යාවජීවව නැවත නැවතත් එකම පුද්ගලයා සිරගත වෙන්නේ නම් බන්ධනාගාර පුනරුත්ථානය යනු කුමක්ද? එය නිකම්ම නිකං හිස් වචනයක් පමණකි.

සිරකරුවන් මරාදැමීම සාධාරණීකරණය කරනන්ට තරම් දුෂ්ඨ සිත් පිත් නැති නිළධාරීන්ගෙන් පුනරුත්ථාපනය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිද? නරින්ට කුකුළන් බාරදෙනවා මෙන් නැවත නැවතත් ඔවුන් වෙතම සිරකරුවන් භාරදීමෙන් ඔවුන්ට කිනම් යහපතක් අත්වේද?. පුනරුත්ථාපනය භාරව සිටින නිළධාරීන්ද මිනීමරුවන් සහ අපරාධ කරුවන්ය. යහපත් මිනිසුන් සහ මනෝවිද්‍යාත්මක දැණුමක් සහිතව ඔවුන්ද පුනරුත්ථාපනය කළ යුතුව ඇත. ඔවුන් කළ වැරදි ගැන තමා තුළම පසුතැවීමක් ඇති වීම දක්වා ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුය. නොමැතිව අනෙකුත් සිරකරුවන් ගැන කුමන කතාද? මේ සිදුවෙමින් පවතින්නේ කුණු වී ඔද්දල් වී ගිය සමාජ දේහයේ දුර්ඝන්ධය හැමීමය. නීති රීති අණපනත් සකසන්නන්ගේ වගකීම විය යුත්තේ මේ ඕජස් ගලන තුවාලයට පැලැස්තර දමා ජනතාවට පෙන්වීම නොව. මෙහි සැරව ඉවත් කර කපා කොටා සමාජ දේහය බේරා ගැනීමය. සියල්ල විනාශ වූ පසු කිසිවෙකින් වැඩක් නොවන හෙයින් මේ පවතින ක්‍රමය තුළ සමාජ ප්‍රශ්ණ වලට සැබෑ පිළිතුරු නැති බව අපට පෙන්වා ඇතියෙන් සැබෑ පිළිතුරක් දක්වා ජනතාව දැණුවත්ව ගමන් කල යුතු කාළය එළඹ ඇත.

සිරකරුවන් මෙන්ම සැකකරුවන්ද අන්ත දුකක් විඳිමින් සිටිද්දීත්, අනෙක් ආයතන වලදී මෙන්ම නුසුදුස්සන් නිළතළ දරණ බන්ධනාගාර පද්ධතිය තුළද සිදු වන්නේ සිදු නොවිය යුතු බොහෝ දේය.

යම් වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු මත් කුඩු හෝ ආයුධ සහිතව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඒ මත්කුඩුද නැතහොත් ටයිල් ග්‍රවුට්ද යන වාර්ථාව එනතුරු හෝ අදාල ගිණිඅවිය ක්‍රියාත්මක තත්ත්වයේ ඇතිද නැතිද බවට වාර්ථාව එන තුරු වසර තුනේ සිට වසර පහ දක්වා බලා සිටිය යුතුය. අධිකරණය විසින් දින ලබා දෙන අතර, බන්ධනාගාරය ජනතා බදු මුදලින් කන්න බොන්න දී ඔහුව සිර කර තබයි. මේ කාළය තුළ ඔහු හෝ ඇය නමින් ඇති දරු මල්ලන් සහ අනෙක් උන් විඳින වද වේදනාවන්, දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිවෙකු වගකියන්නේ නැත. වසර තුනකට හෝ පහකට පසුව ලැබෙන වාර්ථාව අනුව එක්කෝ නිදහස් වීමෙන් පසු ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිදුව ඇති අලාභය කිසිවෙකු විසින් ප්‍රථිපූරණය නොකරයි (ඔහු රජයේ වැටුප් ලබන රැකියාවක නියුතුව සිටි කෙනෙකුනම් අදාල කාලයට වැටුප් ලැබෙතත්, සාමාන්‍ය කම්කරුවෙකුට මේ නීතිය තුළ තමන් වැය කළ කාළයට මිළක් හෝ වටිනාකමක් නැත). එසේත් නැතහොත් නඩු පැවරිමක් සිදු වුවහොත් වසර පහකට පමණ පසු අදාල පුද්ගලයා නැවත වසර ගණනක් එම නඩුව වෙනුවෙන් තම කාළය ගත කළ යුතුවේ. අමතර කාලයේ බන්ධනාගාර ගතව සිටීම සැළකිල්ලට ගැනෙනුයේ ඉතාමත් කළාතුරකින් අවස්ථාවකය. අප මගහැර යා යුත්තේ මේ අවිධිමත් ක්‍රමවේදයන්ය. පසුගිය දිනවල කෝටි ගණනක වැට් වංචාවට වරද කරුවන් වූවන්ට වසර සියයද ඉක්මවා දඬුවම් ලැබිණි. මිනිසුන් ඉන් තෘප්තියට පත් වූහ. එහෙත් ඔවුන්ගේ දඬුවම් සියල්ල එකවිට ගෙවී යන විට වසර තුනක් වැනි කාළයකින් ගෙවා අවසන් කළ හැකිය. ඒ බලවතුන් සඳහා ලැබෙන දඬුවම්ය. එහෙත් පොඩි පොඩි සොරකම් කිහිපයකට අදාළ දඬුවම් එකක් පසුපස එකක් වශයෙන් වසර 36ක දඬුවම් විඳින තරුණයෙක් මට හමුවිය. ඔවුන්ට ඒ සඳහා ඇපීල් කිරීමට හෝ හැකියාවක් නැත. එවැනි හඬක් නොමැති මිනිසුන් කොතරම් නම් පිරිසක් මේ සිපිරි ගෙවල් තුළ තාප්ප වලින් වටව සිටිත්දැයි දන්නේ කීයෙන් කී දෙනෙක්ද?.

අපට මේ නීති රීතින්හි පදනම හඳුන්වා දුන් රටවල් ක්‍රමිකව යාවත්කාලීනව බොහෝ දුර ගොස්ය. අපි එදා උන් හඳුන්වා දුන් අයුරින්ම අනාගතයටද ගෙනයමින් සිටිමු. ඒ අපේ අසමත් භාවයයි. මෙතෙක් රටේ බිහිවූ පාලකයින් තම විරුද්ධවාදීන්ට එරෙහිව මේ බන්ධනාගාරය පාවිච්චි කරන්නට උත්සාහ කළා මිස මෙහි ජීවත් වන සාමාන්‍ය මිනිසුන්ගේ ගැටළු සත්‍ය වශයෙන් අධ්‍යයනයකට භාජනය කර නොමැත. සිංහල බෞද්ධ යැයි කියාගන්නා රටේ පාලකයින් මිනිසුන් යහමගට ගැනීම පිළිබඳ සංකල්පයක අල්ප මාත්‍රයක් හෝ මේ සඳහා යොදාගෙන නැත. බන්ධනාගාරය තුළ යම් සිදුවීමකින් පසු ඔවුන්ගේ පරීක්ෂාව වන්නේ නැවත සිරකරුවන් අතර ගැටළුවක් ඇතිවුවහොත් වහාම ආරක්ෂක අංශවලට බන්ධනාගාරයට පිවිසිය හැකි ක්‍රමවේදයන් සෙවීමය. ( එමිල් රංජන්ගේ අත්තනෝමතිකත්වය තුළ මින් වසර කිහිපයකට පෙර මැගසින් බන්ධනාගාරයේ සිදුවූ සිරකරු ගැටුමේදී ඔවුන්ගේ අධ්‍යයනට භාජනය වී තිබුනේ එයයි. ඒ අනුව බන්ධනාගාර ප්‍රධාන තාප්පයට ඇතුළතින් වටේ යාහැකි පාරක් වැනි ඉඩකඩක් ගැන සාකච්ඡාවට භාජනය විය) එහෙත් එම ගැටළුව ඇතිවීමට හේතු භූත වූ කිසිවක යථාර්තය හෝ සිරකරුවන් තුළ කැළඹීමක් ඇතිකළ සත්‍ය හේතුව සහ එයට පිළියම් කිසිවෙකු සාකච්ඡා කලේ නැත. එදා එයට හේතුව බලධාරීන් විසින් හරි හැටි සොයා බැලුවේනම් නැවත එමිල් රංජන්ට වැලිකඩ බන්ධනාගාරයේ ඩෙඟා නටන්නට එන්නට වෙනනේද නැත.

අප දිනෙන් දින දියුණු වන බව ප්‍රකාශ කළද, අප අදහස් සහ ක්‍රමෝපායයන් අතින් තවමත් සිටින්නේ ගල් යුගයේය. මේ සියල්ල වෙනස් විය යුතුය. රජය අවශ්‍ය තරම් බන්ධනාගාර නිළධාරීන් බඳවා ගන්නා මුත්, රස පරීක්ෂක දෙපාර්තමේනතුවට අවශ්‍ය නිළධාරීන් බඳවා ගන්නේ නැත. එම නිසා සිදුවෙමින් පවතින්නේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාද වීම හේතුවෙන් නඩු කටයුතු ප්‍රමාදවීමයි.  රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් බඳවාගෙන අදාළ පරීක්ෂණ වේගවත් කරන්නේනම් බන්ධනාගාරයේ තදබදය විශාල වශයෙන් අඩුකරගත හැකි වන අතර මෙතරම් බන්ධනාගාර ඉදිකිරීමට හෝ නිළධාරිපිරිසක් නඩත්තු කිරීමට සිදු නොවීම මගින් ජනතා මුදලුත් විනාශ වන ජීවතත් බේරා ගත හැකිය. එමෙන්ම සිරකරුවාට දැනට සිටිනවාට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දිය හැකිය.

අනෙක් සුවිශේෂී කාරණයනම් දැනට ජනතා මුදලින් නඩත්තු කරණු ලබන සිර සැක කරුවන් තිස් හතළිස් දාහක පිරිසක් සහ ඊට අනුබද්ධිත විශාල නිලධාරී පිරිසකුත් බන්ධනාගාර ලෙස ඉදිකෙරුණු අතිවිශාල ගොඩනැගිළි සමූහයකුත් නඩත්තු කිරීමට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ (විශේෂයෙන් හෙරොයින්) සැකකරුවන් සහ සිරකරුවන්ය. ඔවුනගේ ප්‍රමාණය මුළු රැඳවියන් ප්‍රමාණයෙන් 60% පමණ වේ. මේ පිරිස නියමිත විද්‍යාත්මක පුනරුත්ථාපනයකින් තොරව කිසි දිනෙක මේ වියදම දැරීම රජයට නවත්වා ගත නොහැකිවා මෙන්ම මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මගින් නැවත නැවතත් තමන් වෙත ඇද ගන්නා පිරිස් වැඩිකරගනී. ඔවුන් වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම, සමාජයේ අවස්ථාවන් සළසා දීම, යහපත් ජීවන තත්ත්වයක් සඳහා මගපෙන්වීම ආදී ක්‍රමවේදයකට අනුව පුනරුත්ථාපනය කළහොත් නැවත නැවත එකම කෙනා සිරගතවීම නැවැත්විය හැකිය. එසේ වූයේනම් ආට් සුදාට විසිපස් වතාවක් හිර ගත වන්නට නොවන අතර ඔහුට ක්‍රමවත්ව සමාජගතව සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට පහසුකම් සකසා දෙන්නට හැකියාව තිබිණි. එමගින් ඇබ්බැහි වූවන් මගින් මත්ද්‍රව්‍ය භාවිතයට අලුතින් ඇද ගන්නා පිරිසද අඩුකිරීම කළ හැකිය. එසේ නොමැතිව දැනට බන්ධනාගාරයේ ඉහළ නිළධාරීන් සිතා සිටින්නා සේ තග දමා බැටන් එකෙන් නැතිනම් එස්කේප් පොල්ලෙන් තලා ඇබ්බැහියක් නැවැත්විය නොහැකිය.

ඉහත ඡේදයක මා ජීවිත බේරා ගත යුතුයැයි ප්‍රකාශ කරන්නේ සමහර විට නිවැරැද්දේ පවා (ඔහු නිවැරදි බව ඔප්පු වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය යුතුය.) මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයක් නැත. සියල්ල රඳවන්නේ එකටය. මෙහිදී මංකොල්ලකරුවන්, නමගිය අපරාධකරුවන්, කුඩු උරන්නන්, සහ හදිසියේ සුලු වරදකට බන්ධනාගාරගත වන්නන් වශයෙන් වෙන් කිරීමක් හෝ ඔවුන් රැඳවීමේදී විදිමත් ක්‍රමවේදයක් නැතියෙන් එකිකෙනා අතර සම්බන්ධ වීමෙන් තව තවත් අපරාධ දක්වා පෙළඹවීම වැඩිබව බලධාරීන්ට නොවැටහෙනවාදැයි නොදනිමු. මේ සඳහා හොඳම උදාහරණය නම් චැපල් ගුණේ නමින් ප්‍රසිද්ධව සිටි පුද්ගලයා සහ වැළිකඩ බන්ධනාගාරයේ අඩුවයස් සැකකරුවන් රැඳවීම සඳහා තිබූ වාට්ටුවයි. මෙය “කොළු වාට්ටුව” නමින් ප්‍රසිදධය. මේ ළමා වයසේ සිටින්නන් රැඳවිම සඳහා විශේෂ වාට්ටුවක් තිබිමෙන් ඵලක් නැත. එයට විශේෂ වරප්‍රසාදික චැපල් වාට්ටුවේ සිටි කාමර පාටි වැපල් ගුණේලාගේ ලිංගික අවශ්‍යතා ඉටුකිරීමට ඒ ළමයින්ට සිදුවිය. අදටද වෙනත් නම් වලින් චැපල් ගුණේලා නැතැයි කාට නම් අනුමාන කළ හැකිද. නිළධාරීන් දැණුවත්ව සිටියදී චැපල් ගුණේ තම අවශ්‍යතා සඳහා අළුතින් බන්ධනාගාර ගතවන ළමයින් පාවිච්චි කළ බව නොදන්නේ බන්ධනාගාරය ගැන ඕනැ රෙද්දක් දන්නා සමන් ගමගේ නම් කුළී ලියන්නන් පමණි. සත්‍ය වශයෙන් මානව හිතවාදියෙක් නම් සහ කොන්දක් ඇත්නම් කුළියට බොරු නොලියා බන්ධනාගාරයේ අභ්‍යන්තර සත්‍ය ජනතාවට ලියන්නැයි අපි සමන්ට අභියෝග කරමු.

සුළු වැරදිකාර සුහුඹුලන් නියම අපරාධකරුවන් බවට පත්කර ඉගිල්ලවාහරින තොටිල්ල මේ අක්‍රමවත් අවිධිමත් අවිචාරවත් බන්ධානාගාර පද්ධතියයි. මෙය දේශපාලන හෙන්චයියන් නුසුදුස්සන්ගෙන් මිනීමරු මානසිකත්වය සහිත නිළධාරීන්ගෙන් මුදවා ගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුගතව ක්ෂේත්‍රය පිළිබඳ විද්‍යාර්ථීන් යොදවා යහපත් ලෙස කළ යුතු සත් කාර්යයකි. මේ සියලු තත්ත්වයන් විසින් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වය අගයන සමාජක්‍රමයක්මය. එය හුදෙක් ජනතාවගේ ප්‍රාර්ථනාවෙන් හෝ විවේචන මතින් පමණක් සාක්සාත් කළ නොහැකිය. ඒ සඳහා යුක්තිමත් දාර්ශණික මගපෙන්වීමක රික්තකය නිර්මාණය වී බොහෝ කල්ය. අප ඉදිරියේ ඇති සමස්ථ අර්භුදය විසින් නැවත නැවතත් ඉල්ලා සිටින්නේ සත්‍ය ජනතාවාදීන්ගෙන් සැදුම් ලත් සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාවයි. ඒ සඳහා පළමුවෙන් තමා තුළ යුක්තිමත් බව ඇගයීමට ලක් විය යුතුය.

මා කළින් කීවාක් මෙන්ම වෙලේ සුදාලා නිෂ්පාදනය කළ සමාජයම ආට් සුදාලාත් නිෂ්පාදනය කරනවා පමණකි. ඔවුන්ට ඉන් මිදීමට මගක් සොයා දීම ජනතාවගේ වගකීම වන්නේ හෙට දවසේ ඔබේ දරුවාටත් අසල්වැසියාටත් මෙයම සිදුවිය හැකි නිසාය. ඒ සඳහා අප කළ යුත්තේ ඔවුන් නිර්මාණය කරණ සමාජ ක්‍රමය ප්‍රශ්ණ කරණු විනා ඔවුන් එකිනෙකාගේ කණින් අල්ලා ගැනීම නොවන්නේය. කිසිවෙකුටත් කිසිවෙකුත් රැකගත නොහැක්කේ ඔබ අප සැවොම මේ සමාජයේම කොටස් වන බැවිනි. මේ සිදුවීම් සියල්ල සඳහා නිහඬව සහ ඉවසා සිටින සියළු දෙනා මෙයට වගකිව යුතුය. තමන්ට වැරදුන තැනදී සහ අවස්ථාවාදයේදී “අපිට ඔය දේශපාලනෙන් වැඩක් නැහැ. අපි හොයා ගත්තොත් අපි කනවා” යැයි ප්‍රකාශ කරන සාමාන්‍ය ජනතාවගෙන් කිසිවෙකුටත් හෝ උගතුන් බුද්ධිමතුන් යැයි තමන්වම හඳුන්වාගන්නා කිසිවෙකුටත් මෙන්ම සියලු අකටයුතුකම් අපේ පක්ෂෙ උන් නැතිනම් අපේ හිතවතුන් කරන විට අනුමත කරන්නවුන්ටද මේවාට තමන් වගකිව යුතු බව දැනෙන්නේ තමන්ගේ දොරට තට්ටු කරන විටදීය. එතෙක් බලා සිටිම යුක්ති යුක්ත බවට අපට මතවාද සකසා දෙන ඊනියා මාධ්‍ය වෙදීන්ටද ඔවුන්ගේ දූ දරුවන්ටද මේවායේ වන්දි ගෙවන්නට වන දිනය එතරම් ඈතක නොවනු ඇත.

|කේ. තිස්ස|අකුණ නිවුස් |

වෙලේ සුදාගෙන් අවසන් කළ කොටස අපි නැවත ආට් සුදාගෙන් පටන් ගනිමු.(01 කොටස)

 

Share this

Related posts