වරදකාරිත්වයේ චක්‍රයේ උගුල තුළ හසු නොවූ ක්‍රම විරෝධියෝ නම්  “සමාජවාදී ඇන්ඩිලාය”.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් භුක්ති විඳින ඇතැම් සිරකරුවන් වෙතින් පළවෙන්නේ ඉටුවිය නොහැකි ආශාවකි ඔවුන් නිරතුරුවම “ නිදහස ” පිළිබඳව සිහින දකිනවා වුවත්, අවසානයේ දී ඔවුන්ව නිදහස් කරන ලද විටක, ඔවුහු අතීත වේදනාත්මක ලෙස තම සිරගත ජීවිතයේ “ නො-නිදහස ” සිහිපත් කරති. ස්ටීවන් කිංගේ කෙටි කතාවක් ඇසුරින් ෆ්‍රෑන්ක් ඩොරාබොන්ට් තැනූ The Shawshank  Redemption චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වන්නේ මේ ඉටුවිය නොහැකි ආශාවයි. චිත්‍රපටය තුළ, තම බිරිඳ සහ ඇගේ පෙම්වතා මරා දැමීමට වරදකරු වී ශෝෂෑන්ක් සිරගෙදර තුළ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ඇන්ඩි නම් තරුණ බැංකුකරුවා පිළිබඳව, තවත් සිරකරුවෙකු වන රෙඩ් කතාවක් ඉදිරිපත් කරයි. ඇන්ඩි විශේෂ පුද්ගලයෙකි ඔහු එක්තරා සුවිශේෂී සන්සුන්බවක් පෙන්නුම් කරයි. සිරගෙදර පවතින භීතිය ඔහුගේ පුද්ගල ඇතුලාන්තය ස්පර්ශ නොකරන්නාක් මෙනි. මීට ප්‍රතිපක‍ෂව අනෙක් සිරකරුවෝ, රෙඩ් පවසන පරිදි,  “ආයතනගත මිනිසුන් ” වෙති ඔවුන්ගේ අනන්‍යතාවය පදනම් වන්නේ හිරගෙදර ධූරාවලිය තුළ තමන්ට හිමි ස්ථානය මත ය. සිරගෙදරින් නිදහස් කරන ලද කල්හි, ඔවුහු එක්කෝ නැවත සිරගත කිරීමට ලක්වනු පිර්‍ණස තවත් අපරාධයක් කරන හෝ නැත් නම් තම ජීවිතය නතර කර ගැනීමට තීරණය කරන බිඳුනු පුද්ගලයෝ බවට පත්වෙති. තමන් නිර්දෝෂී බව ඇන්ඩි ප්‍රකාශ කරයි; එසේ වුවද, ඔහු තමාව විඳවන ගොදුරක් වශයෙන් තේරුම් නොගෙන සිරගෙදර මර්ධනය උපේක‍ෂා සහගතව විඳ දරා ගනී. ඔහුගේ එක් සුවිශේෂීතාවයක් වන්නේ, සෑම විටකම සිය කුටිය තුළ විශාල පෝස්ටරයක් එල්ලා ගෙන සිටීමයි; මුල දී රීටා හේවොත්, ඉන්පසු මැරිලින් මොන්රෝ සහ ඊටත් පසුව විවිධ වෙනත් රූමතියන් වශයෙනි. වසර දහනවයක සිරගෙදර ජීවිතයෙන් පසුව එක්වරම ඇන්ඩි අතුරුදහන් වූ විට, මේ පෝස්ටරයෙන් සිරගෙදර බිත්තියේ විශාල සිදුරක් ආවරණය කර තබා තිබුණි යන්න පැහැදිලි වෙයි. ඔහු හෙමිහිට හිරකුටියෙන් පිටතට උමගක් තනා අවසානයේ දී පලා ගොස් තිබුණේ එම සිදුර හරහා ය.

මේ මොහොතින් පසුව ඇන්ඩිගේ කතාව අවසාන වන අතර වසර තිස් අටකට පසුව බලාපොරොත්තු නොවූ ලෙස සිරගෙදරින් නිදහස් කරනු ලැබූ රෙඩ් වෙතට කතාවේ අවධානය යොමු වෙයි. තමාද ආයතනගත මිනිසෙක් බවත්, සිරගෙදරින් පිටත ජීවිතයේ තමාට අරුතක් නැති බවත් රෙඩ් දන්නවා වුව ද, තමාව පුද්ගලයෙකු ලෙස කඩාවැටීමෙන් ඔහුව ගලවා ගන්නේ ඇන්ඩි පිළිබඳ උදාහරණය විසිනි. (මෙහි දී චිත්‍රපටය සහ කෙටිකතාව සුළු වශයෙන් වෙනස් වෙයි.) චිත්‍රපටය තුළ දී, සිරකරු ඇන්ඩි වරක් රෙඩ්ගෙන් උදව්වක් ඉල්ලා ඇත එනම්, රෙඩ්ට නිදහස් වීමට අවස්ථාවක් ලැබුනොත්, මයේන්හි ඇති කුඹුරක් වෙත ගොස් එහි කළු ගලක් යට සඟවා ඇති කිසියම් දෙයක් සොයා ගන්න යන්නයි. රහසක් සොයාගෙන යාමට ඇන්ඩි සෘජුවම රෙඩ්ව දිරිගන්වන අතර,ඉන් ඔහුට බලාපොරොත්තුවක්, ආශාවේ වස්තුවක් ලබා දෙයි. මුල් කෙටිකතාව තුළ දී මේ වස්තුව සොයා යාම වඩාත් තියුණු ලෙස දැක්වෙයි. එහි දී සිරගෙදරින් එළියට ගියාට පසුව, එක්තරා කළු ගලක් සොයා යාමටත් ඊට යටින් වන බැංකු සේප්පුවක යතුරක් සොයා ගැනීමටත් වන තමාගේ සැලසුම ඇන්ඩි රෙඩ් වෙත හෙළිදරවු කරයි. මෙක්සිකෝවට ගොස් නව ජීවිතයක් ඇරඹීමට නම් ඇන්ඩි විසින් ගොඩනඟා ගත යුතුව තිඛෙන නව අනන්‍යතාවයට අදාලවන ලියකියවිලි සහ ගිවිසුම් මේ සේප්පුව තුළ ඔහුගේ මිතුරෙකු විසින් ගබඩා කොට තබා ඇත. මුල් කෙටි කතාවේ මූලිකම දෙයක් වන්නේ ඇන්ඩි කළුගලට යටින් ඇති රහස සොයා ගැනීමට රෙඩ්ව සෘජු ලෙස දිරි නොගන්වා, ඔහුට තමාගේ (ඇන්ඩිගේ) ආශාවේ වස්තුව හෙළිදරවු කිරීම පමණක් සිදුකිරීමයි. “ ආශාව යනු හැම විටමත් අනෙකාගේ ආශාව ” වන නිසා රහස් ගල පිළිබඳ අදහස, ඉතාම කෙටි කලක් තුළ දී රෙඩ්, තමාගේම හිතේ දැඩිව දරාගත අදහසක් බවට පත්කර ගනී. නිදහස් වූවාට පසුව, රෙඩ් මයේන්හි කුඹුර සෙවීම අරඹන අතර, ගල සහ එහි රහස අනාවරණය කර ගනී: ගල යට ඇත්තේ ඇන්ඩි විසින් ඔහු අමතා ලියන ලද ලිපියකි. මේ ලිපිය තුළ ඇන්ඩි රෙඩ්ව දිරි ගන්වයි: ඔහු දැනටමත් මේ සා විශාල දුරක් පැමිණ ඇති නිසා, ඔහුට තව දුරටත් ගමන් කර මෙක්සිකෝවේ දී ඔහු හා එකතු වීමට හැකිවනු ඇත “ මතක තියා ගන්න, බලාපොරොත්තුව කියන්නේ හොඳ දෙයක් ”.

සිරකරුවන්ට, සිරදඬුවම වනාහි නිකම්ම වේදනාත්මක අත්දැකීමක් නොවේ; ඔවුහු තමන්ගේ විඳවීම තුළ විශේෂ වින්දනයක් ලබති. කාරණාව වන්නේ ඔවුන් සිරදඬුවමේ අයුක්ති සහගතභාවය පිළිබඳව මැවිසිලි නැගීමෙන් සතුටු වන්නේ ය යන්න නොවේ. වැදගත්ම කරුණ වන්නේ, ‘සිරගෙදර තුළ ඇති මර්ධනීයභාවය මධ්‍යයේ සිරකරුවන් තමන්ගේ අනන්‍යතාවයන් සංවිධානය කර ගන්නේ කෙසේද?’යන්නයි. අභ්‍යන්තර නීති පැනවීමෙන්, ධූරාවලීන් ගොඩනැංවීමෙන්, එකිනෙකාට අපහාස කිරීමෙන් සහ එකෙකුට එරෙහිව අනෙකා පොර ඇල්ලවීමෙන් සිරකරුවෝ වින්දනය ලබති. සිරගෙදර මේ ආකාරයට සෑම සිරකරුවාටම – එක්කෝ, නීති පනවන්නේ කෙසේදැයි දැනගෙන ධූරාවලිය දිගේ ඉහලට ගොස් අන් අයගේ නායකයා බවට පත්වන අයෙකු ලෙස හෝ නැත්නම්, තම සගයන්ගේ ක්‍රියාවන්ට නිරතුරුවම ගොදුරුවන්නෙකු ලෙස – තමන්ගේ අනන්‍යතාවය ගොඩනඟා ගැනීමට හැකිවන පොළොවක් සපයයි.

අනන්‍යතාවය පිළිබඳ මේ අදහස කෙනෙකු වටහා ගත යුත්තේ කෙලෙසද? විෂය ආස්ථානවලට අදාල කර ගනිමින් අනන්‍යතාවය පිළිබඳව සිතන න්‍යායධරයෝ අනන්‍යතාවය මූලික ලෙසම අන්තර්විෂයීය කත්වයේ ගැටළුව සමඟ සම්බන්ධිත බව අවධාරණය කරති. මේ ආකාරයට, පුද්ගල විෂයේ අනන්‍යතාවය – මහා අනෙකා යන්න සමාජීය සංකේත ව්‍යුහය යන අරුතින් ගත්තත්, සංයුක්ත අනෙක් පුද්ගලයා යන අරුතින් ගත්තත් – මහා අනෙකා වෙත ඔහු හෝ ඇය දක්වන සම්බන්ධතාවය මත පරායක්ත වෙයි. සිරකරුවන් සම්බන්ධයෙන් ගත් විට, පුද්ගලයෙකුගේ අනන්‍යතාවය, සිරගෙදර සංකේතීය සැකසුමට මෙන්ම අනෙක් සිරකරුවන්ට ද අදාලව ඔහු හෝ ඇය විසින් අත් කරගන්නා ස්ථානය මඟින් තීරණය කෙරෙයි. කෙසේ වුවද, ලැකාන් මීටත් වඩා ඉදිරියට යයි ඔහුට අනුව අනන්‍යතාවය වනාහි පුද්ගල විෂය තමාගේ මූලික අඩුව සමඟ ගණුදෙනු කරන ආකාරයයි. සංකේතීය අනන්‍යතාවයක් ලබා ගැනීම මඟින්, සමාජීය සංකේතීය ජාලය තුළ ඇති ස්ථානයක් සමඟ අනන්‍යවීම මඟින් පුද්ගල විෂය උත්සාහ දරන්නේ තම ඇතුළාන්තයෙන්ම තමාව නිශ්චය කරන සංකේතීයකරණය කළ නොහැකි යථාව වන ඉහත අඩුව මුණ ගැසීම මඟ හැරිමටයි. මෙලෙස පුද්ගල විෂය, යථාවේ, ක‍ෂතියෙන් ගැලවෙනු පිණිස, විවිධ සමාජීය ධූරාවලීන් තුළ ස්ථානයක් සොයයි.

සිරගෙදර තත්වය තුළ දී, යථාව සුවිශේෂී ආකාරයට අපරාධය සමඟ සම්බන්ධ වෙයි. වඩා පුළුල් සමාජීය ලෝකය තුළ, නීතිය තමාව පිහිටුවා ගන්නේ අපරාධය නම් යථාව වටාය. (හේගල්ට අනුව පවසතොත්, නීතිය මතුවන්නේ අපරාධය නිශේධනය කිරීමකිනි.) එසේම අපරාධය යනු නීතිය විසින් වටකිරීමට උත්සාහ දරන මදය ද වුවත් එය හැමවිටමත් එහි ග්‍රහණයෙන් ගැලවී පලායන දෙය ද වෙයි. පුද්ගලයෙකු කරන අපරාධයක් විසින් ඔහුගේ හෝ ඇයගේ කලින් අනන්‍යතාවය විනාශ කෙරෙයි. මන්ද, පුද්ගල විෂය සියඅනන්‍යතාවය සංවිධානය කරනු පිණිස කේන්ද්‍ර කොට ගන්නා වූ අඩුව – සංකේතීයකරණය කළ නොහැකි දෙය – ස්පර්ශ කිරිම ද එය විසින් කෙරෙන නිසාය. මෙලෙස අපරාධය සිදුකල පසුව පුද්ගල විෂය කිසිවිටකත් කලින් සිටි පුද්ගලයා  නොවෙයි; ඔහු හෝ ඇය ඉන්පසු කිසිම විටක කලින් පැවති ආකාරයෙන්ම සිය අනන්‍යතාවය සකසා නොගනු ඇත. මේ අනුව සිරගෙදර තුළ දී පුද්ගල විෂය ගොඩනඟා ගන්නා නව අනන්‍යතාවය අපරාධයට(සම්බන්ධ යථාව) සමඟ සම්බන්ධ වූවකි. වඩා නිවැරදිව කිවහොත්, මේ අනන්‍යතාවය, මේ යථාවෙන් ගැලවී යාමේ හැකියාව පුද්ගල විෂයට ලබා දෙයි. චිත්‍රපටය පැහැදිලි ලෙස පෙන්වා දෙන පරිදි, සිරකරුවන් තම අපරාධ පිළිබඳව කතා නොකරන්නේත්, ඔවුන් තම මිනීමැරුම් පිළිබඳව පුරසාරම් නොදොඩන්නේත් එම නිසාය: ඔවුන් සියළු දෙනාම ප්‍රකාශ කරන්නේ තමන් නිර්දෝෂී බව සහ තමාට දඬුවම් පැනවීම අප්‍රසන්න අත්වැරදීමක්  බවය. ඒ අය මෙසේ කරන්නේ ඔවුන් සිය අතීත ක්‍රියාවන් ගැන කණගාටුවන නිසා නොව, සිරකරුවාට නව සංකේතීය අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට නම්, ඔහුව වරදකරුවෙක් බවට පත් කළ, ඔහු තුළ ඇති ඔහුටත් වඩා වැඩිපුර වූ දෙය – එනම් අපරාධය – අප්‍රකාශිතව, සැඟවී පැවතිය යුතු නිසාය.

මෙලෙස සිරකරුවාගේ අනන්‍යතාවය යන්න මූලික වශයෙන් කතාවට නැඟිය නොහැකි අපරාධයකට, යථාවට සම්බන්ධිතය; එසේ වුවද, එය හිරකුටියෙන් පිටත ඇති තමන්ට අත්කර ගත නොහැකි “ නිදහස” පිළිබඳව ඇති සංජානනයට ද සම්බන්ධිතය. නමුත් මේ “ නිදහස” අත් කර ගැනීම මඟින් බොහෝ සිරකරුවන්ට උදාකර දෙන්නේ සම්පූර්ණ කඩා වැටීමයි: එනම් නිදහස ලැබීමත් සමඟම, ඔවුන් සතුව තිබූ සියල්ල ඔවුන්ට අහිමිව යයි; ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන් සිරගෙයින් එළියට පැමිර්‍ණ විට බිඳ වැටෙයි. කිං ගේ කතාව තුළ සිටින බෘෘක්ස් නම් වියපත් පුස්තකාලාධිපතිවරයා එවන් කඩා වැටුණු සිරකරුවෙකු සඳහා උදාහරණයකි. මහළු වියේ පසුවන බෘෘක්ස්ව නිදහස් කර හැරීමට බලධාරීන් තීරණය කරති. “ඔහු පිට වී යන විට දී හඬමින් සිටින්නට විය”. ශෝෂෑන්ක් වනාහි ඔහුගේ ලෝකය විය. එහි බිත්තිවලට ඔබ්ඛෙන් පැවති ලෝකය බෘෘක්ස්ට බිය උපදවන්නක් වූයේ පහලොස්වන සියවසේ නාවිකයන්ට බටහිර මුහුදවල් අද්භුත ලෙස බියජනක වූවාක් මෙනි. සිරගෙදර තුළ දී, බෘෘක්ස් කිසියම් වැදගත්කමක් සහිත පුද්ගලයෙකු වී තිබුණි. ඔහු පුස්තකාලධිපතිවරයා විය: උගත් මිනිසෙකු විය. ඔහු කිටරි පුස්තකාලය වෙත ගොස් රැකියාවක් ඉල්ලා සිටියා නම්, ඔවුන් ඔහු වෙත අඩුම තරමේ පුස්තකාල කාඩ්පතක්වත් නිකුත් නොකරනු ඇත. කෙනෙකු එවන් “ආයතනගත මිනිසෙක්” බවට පත්වන්නේ කෙලෙසද? රෙඩ් කල්පනා කර බලන පරිදි, “මුල දී ඔබට ඒ බිත්ති හතර දරා ගත නොහැක, ඉන්පසු ඔබට එහි වාසය කළ හැකි බවට හැඟීමක් ඔබ තුළ ඇති වෙයි…………..ඊටත් පසුව, ඔබේ ගතත්, ඔබේ සිතත්, ඔබේ ආත්මයත්, නිවාසමය පරිමාණයේ ජීවිතයකට හරි ගැසෙන්නට වූ පසුව, ඔබ ඊට ආදරය කරන්නට වෙයි”.

එහෙත්’ ඇන්ඩි සහ වෙනත් සිරකරුවන් අතර වෙනස කුමක් ද? ඇන්ඩි, සත්‍ය වශයෙන්ම ගත්කල නිර්දෝෂී එකම සිරකරුවා වුවද, හිරගෙදර වත්පිිළිවෙත් බැරෑරුම් ලෙස බාරගනියි. මතුපිටින් ඔහු නීතිවලට අවනත වෙයි. එනමුත් ඒ අතරතුර ම සිරගෙදර නම් ආයතනය, එහි වත්පිළිවෙත් ඇතුලතින් ක්‍රමිකව වනසාලයි. (ඇන්ඩි හිරගෙදර  “යටින් වනසන්නේ ” හිරකුටියේ බිත්තිය හරහා උමගක් හෑරීමෙන් පමණක් නොවේ; හිරගෙදර බලධාරීන්ගේ නීතිවිරෝධි මුදල් ගණුදෙනු ද ඔහු විනාශ කරයි.) අවශ්‍ය නපුරක් වශයෙන් හිරගෙදර පිිළිගැනීම සහ වත්පිළිවෙත් ඉටු කිරීම සිදු කළා වුවත්, ඇන්ඩි සිය අනන්‍යතාවය සිරගෙය වටා සංවිධානය කරන්නේ නැත. පළමුවෙන්ම, ඉලක්කයක්, තම ආශාවේ වස්තුව – මෙක්සිකෝවේ හෝටලයක් විවෘත කිරීම – පිළිබඳව තීරණය කරන ඔහු ඉන්පසු ක්‍රමිකව තම ගැලවීම සැලසුම් කිරීම හරහා තම ජීවිතය එම ඉලක්කය වටා සංවිධානය කරයි. ඇන්ඩි වෙත විශේෂ නිදහසක් ලබා දෙන්නේ මේ ආශාවේ වස්තුව – ඔහුගේ වචනවලින් කිවහොත් “බලාපොරොත්තුව” – විසිනි. මීට ප්‍රතිපක්ෂව අනෙක් සිරකරුවන් වත්පිළිවෙත් බැරෑරුම් ලෙස බාර නොගන්නා අතර, නිරතුරුවම ඒවා පිළිබඳව චෝදනා කරමින් හැකි හැමවිටකම බලකිරීම්වලින් මඟහැර යාමට උත්සාහ දරති. එහෙත් මෙහි ඇති විරුද්ධාභාෂය වන්නේ, ආයතනය තමන් මත පටවා ඇති පාලනය සදහටම නැති වී යනු ඇතැයි සිරකරුවන් සිතාගෙන සිටිනා මොහොතේ දීම – ඔවුන්ගේ නිදහස් වීමේ මොහොතේ දීම – ආයතනය ඔවුන්ව අත් නොහැර සිය ග්‍රහණයේ තබා ගැනීමයි. ඇන්ඩි බාහිරව මිස තම ඇතුල් ආත්මයෙන් වත්පිළිවෙත්වලට අවනත නොවන විට දී, අනෙක් සිරකරුවන් සිදු කරන්නේ එහි අනික් පැත්තය; ඔවුන් සිරගෙදර බාධකයන්ට එරෙහිව කැරලි ගැසුව ද ආයතනය ඔවුන්ගේ අභ්‍යන්තරයෙන් ඔවුන්ව ග්‍රහණය කරගෙන සිටී. තමන් මෙතෙක් කළ කැරලි ගැසීම්වල දි තම විරෝධයන්ගේ ඉලක්කය බලහත්කාරී යටත් කර ගැනීම නතර වන්නට වූ විට ඔවුන්ගේ ලෝකය බිඳ වැටේ. වයස්ගත රෙඩ් වටහා ගන්නා පරිදි, සිරගෙයින් බැහැර වූවාට පසුව, ඔහුට අවම වශයෙන් වැසිකිලියට යාමටවත් නොහැක. මන්ද වසර ගණනාවක් තිස්සේ ඔහු වැසිකිලියට ගොස් ඇත්තේ ද නියෝග කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස නිසාය.

සිය ගැලවීමේ උමඟ හෑරීමේ වසර ගණනාව පුරාවටම, තමාට තම ආශාව හරියටම ඉෂ්ට කරගැනීමට හැකිවේද යන්න ගැන හරිම විස්වාසයක් ඇන්ඩිට වූයේ නැත. නමුත් සිදුර තැනීම පිළිබඳ ඔහුගේ වැඩ පිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට යන විට, තම ආශාව ක්‍රියාකාරීව තබා ගැනීමට හැකිවන වත්පිළිවෙතක් ඔහු සංවිධානය කළේය. ඔහු තුළ තීරණාත්මක වෙනසක් ඇතිවන්නේ සිදුර ඇත්ත වශයෙන්ම නිදහස කරා ගමන් කරනු ඇත යන්න ඔහු අවබෝධ කරගන්නා මොහොතේදී ය. “හුදු ක්‍රීඩාවක නිරතවනවාට වඩා, ඉහළම ඔට්ටුවලට………ඔහුගේම ජීවිතය සහ ඔහුගේම අනාගතය සම්බන්ධව ඉහළම ඔට්ටුවලට……………….තමා ක්‍රීඩා කරමින් සිටින බව එක්වරම ඔහුට අවබෝධ වන්නට ඇත………………..එක්වරම, බිත්තියේ වූ අර මෝඩ සිදුර, හුදු සෙල්ලම් ගුලක් නොවී, ඔහුගේ ස්වාමියා බවට පත් විය. නමුත් මේ නිශ්චිත මොහොතේ දී ඇන්ඩි බිඳ වැටෙන්නේ නැත, ඔහු තම “ සිහිය විකල් කර ගන්නේ ” නැත. එනම්, ඔහුගේ ආශාවේ වස්තුව අත්කර ගත හැකි දෙයක් බවට පත් වූ විට, ඒ වස්තුව ඔහුව “ ගිල දමන්නේ ” නැත. ඊට ප්‍රතිපක්ෂව, ඇන්ඩි වත්පිළිවෙත්වලට අවනත වන නිසා සහ සිය ආශාවේ වස්තුව සංකේතීය පිිළිවෙළට යටත් කරන නිසා, ඔහු සිය “සාමාන්‍යභාවය” දිගටම රඳවා ගනියි. සිරගෙයින් පිටතට පැමිණි පසුවද, හෝටලයක් ගොඩනැගීමෙන් සහ නව ඉලක්කයක් සොයා ගැනීමෙන්, ඔහු නැවත වතාවක් සිය වත්පිළිවෙත සංවිධානය කරයි. මේ ආකාරයට ඇන්ඩි ගේ නිදහස හැමවිටකමත් කිසියම් වත්පිළිවෙතකට, කිසියම් විනයකට යටත් වූ දෙයක් වන විට, අනෙක් සිරකරුවන්ට නිදහස යනුම තමන්ගේ ආශාවේ වස්තුව වෙයි. ඔවුන් ආශා කරන්නේ එළියට යාමට වන අතර, එම ඉලක්කය සපුරා ගැනීම මඟින් හැම දෙයක්ම හොඳ අතට වෙනස් කිරීමට හැකිවෙතැයි ඔවුහු අනුමාන කරති. එසේ වුවද, ඔවුන් නිදහස උදාකර ගත් විට දී, එය විසින් ඔවුන්ව විනාශ කර දමයි. මන්ද, ඔවුන්ගේ ආශාවේ වස්තුව – නිදහස – අත්කර ගත නොහැකි සේ සිරගෙට තැබූ ව්‍යුහය – එනම්, සිරගෙදර වත්පිළිවෙත්වලට යටත්ව සිටීම – එවන් විටක දී නතරවන බැවිනි.

කිංගේ කෙටිකතාව තුළ, රෙඩ්ව ජීවමානව පවත්වා තබා ගන්නා දෙය වන්නේ ඔහු තම අවම ආදර්ශනය වශයෙන් ඇන්ඩි සමඟ අනන්‍යවීම යන ක්‍රියාවයි. මේ අනන්‍යකරණය හරහා, සිය ආශාව දිගටම චලනයේ තබා ගන්නා වෙනත් වත්පිිළිවෙතක් ඇන්ඩිගේ ආශාවේ රහසිගත වස්තුව සොයායාම රෙඩ් සංවිධානය කර ගනියි. ආශාව යනු හැම විටමත් අනෙකාගේ ආශාවයි යන්නෙහි අදහස වන්නේ, කිසියම් වෙනත් දෙයක් – සංකේතීය පිළිවෙලින් වට කළ නොහැකි දෙයක් – ලෙස රැඳී සිටීමට උත්සාහ දරමින්, ආශාව සංකේතීය පිළිවෙළට අවනත විය යුතුව තිඛෙන බවයි. මේ නිසා රෙඩ්ට මෙසේ ප්‍රකාශ කළ හැකිය  “ඔවුන්ට කිසිදා  සිරගත කල නොහැකි වූ මගේ කොටස වූයේ, සිරගෙදර දොරවල් අවසානයේ මට පිටතට විවර වූ විට ප්‍රීති ප්‍රමෝදය බවට පත් මගේ කොටස වූයේ, ඇන්ඩිය.   එසේම දඩුවම්කාරී ආයතනයේ (හිර ගෙදර වත්පිළිවෙත් පිළිපැදීම) පැවතීම නතරවන්නට වූ විට, වෙනත් ආයතනයක් (ඇන්ඩිගේ පණිවිඩය ඔස්සේ යාම) සොයා ගැනීමේ හැකියාව ද ඇන්ඩි සමඟ වූ අනන්‍යකරණය විසින් රෙඩ් වෙත ලබා දුනි. සමාජවාදය යටතේ සිටින විට, සර්වාධිකාරවාදය තුළ තමන්ට සිරගතවන්නට වීම හේතුවෙන් ක්ෂිතියට පත් නොවී ක්‍රමිකවත් හෙමිහිටත්, පාලන තන්ත්‍රයම වනසා දැමූ මිනිසුන් කොමියුනිස්ට් ආයතන වෙත දැක් වූ ආකල්පය, සිරගෙය කෙරෙහි ඇන්ඩි දැක්වූ ආකල්පයට සමාන විය. පාලන තන්ත්‍රය සමඟ ඔවුන් පවත්වා ගත් අනන්‍යකරණය යනු මතුපිටින් පැවති දෙයක් මිස, ඔවුන්ගේ ඇතුල් පැවැත්ම ස්පර්ශ කරන්නක් නොවිර්‍ණ. මේ මිනිසුන් සම්බන්ධයෙන් ගත්කල, පැවති ක්‍රමය කැබලිවලට බිඳී යද්දී සහ මර්ධනකාරී ආයතනවලින් ලද ආරක‍ෂාව ඔවුනට අහිමිව යද්දී ඔවුන්ගේ ලෝකය බිඳ වැටුනේ නැත. මිට ප්‍රතිපක්ෂ ලෙස, නියම “ආයතනගත මිනිසුන් ” වූයේ, අතීත වේදනාවකින් යුතුව අතීතය දෙස බැලු අයයි; නිරන්තරවම ආයතන විවේචනය කරමින් පසුවූ ඔවුන්ගේ අනන්‍යතාවය සම්පූර්ණ ලෙසම රඳා පැවතියේ ද ඒ  ආයතන මතය. දැන් මේ වර්ග දෙක, පළමුව ඔවුන්ගේ “අපරාධයට ” අනුවත්, දෙවනුව ආයතනය පිළිබඳ ඔවුන්ගේ සංජානනයට අනුවත් එකිනෙකින් වෙනස් වෙයි.

සමාජවාදය තුළ පක‍ෂයේ දෘෂ්ටියෙන් හැම කෙනාම විභවාත්මක ලෙස කිසියම් අපරාධයකට (පාලන තන්ත්‍රය විස්වාස නොකිරීම, වැඩපොලේදී කරන ලද සුළු හොරකමක්, අල්ලස් ගැනීම ආදිය) වරදකරුවන් වී තිබිණි. නමුත් ඇත්තෙන්ම මිනිසුන් ක්ෂිතිකකරණයට ලක්කල වරදකාරීත්වයේ හැඟීම වූයේ මෙය නොවේ; වෙනත්, වඩාත් බියජනක වරදකාරිත්වය නම් බොහෝ මිනිසුන් පාලන තන්ත්‍රය සමඟ මොනයම්ම හෝ ආකාරයකින් එක් වී කටයුතු කිරීම පිළිබඳ වරදකාරිත්වයයි. (ඔවුහු තමන්ගේ ම ගැලවීම උදෙසා තම සගයන්ට චෝදනා කළහ, අසාධාරණකම්වලට එරෙහි විය යුතු විට දී ඔවුන් එසේ කළේ නැත, නැත්නම් ඔවුන් නිහඬව සිටියහ.) පාලන ක්‍රමය සමඟ ඔවුන්ගේ අනන්‍යකරණය මූලික ලෙසම තීරණය කළේ මේ  “අපරාධය” නිසා හටගත් වරදකාරිත්වයේ හැඟීම විසිනි. මිනිසුන් සවිංඥානිකව පාලන තන්ත්‍රය සමඟ අනන්‍ය වූවා නොව, ඔවුහු තමන්ගේ වරදකාරීත්වයේ ක්ෂිතිය වටා තම අනන්‍යතාවයන් සකස් කර ගත්හ. මේ ආකාරයට අපරාධයට හවුල් වූ ඔවුහු කිසිවිටක ක්‍රමයේ මූලික පදනම් අනතුරට පත් නොකර, නිශ්ක්‍රීය ලෙස ක්‍රමය වෙනස් කරන්නට වූහ. මීට ප්‍රතිපක්ෂව , මේ වරදකාරිත්වයේ චක්‍රයේ උගුල තුළ හසු නොවූ ක්‍රම විරෝධියෝ නම්  “සමාජවාදී ඇන්ඩිලාය”. ආයතනයෙන් පිටත “ නිදහස ” පවතිනු ඇතැයි ඔවුන් විස්වාස කලේ නැත. සමාජවාදී පාලන තන්ත්‍රය ක්‍රමයෙන් විනාශ කර දැමීමේ ඔවුන්ගේ වැඩ පිළිවෙල, පරම නිදහස අත්කර ගැනීමට උත්සහා දැරුවේ නැත; ඒ වෙනුවට, එය ඉලක්ක කර ගත්තේ වෙනත් ආකාරයක ආයතනයක් – බොහෝ දුරට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී එකක් – තැනීමයි.

|නිශාන්ත කුලරත්න|

The Shawshank  Redemption චිත්‍රපටය නැරඹීමට…  

https://www2.putlockertv.to/watch/the-shawshank-redemption.1nom/09mww3

 

 

Share this

Related posts