සත්‍ය මර්ධනයෙන් යටපත් කල නොහැක.

දුම්රිය  සමිති සම්මේලනයේ වගකීම                                                                                                                                            (2007.02.18 දින ඉරිදා රාවය පුවත්පතේ පල වූවකි) 

අකුණ” පුවත්පතට සම්බන්ධ මාධ්‍යවේදියෙකු මෙන්ම ලංකා දුම්රිය වෘත්තිය සමිති සම්මේලනයේ භාණ්ඩාගාරිකවරයා එම්.ඒ.සිසිර ප්‍රියංකර සහෝදරයා 2007.02.05 දින තම සේවා ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි අවස්ථාවේ අතුරුදහන් කිරීමකට ලක් විය. එසේම “අකුණ” පුවත්පතේ පරිගණක පිටු සැකසීම් සහ ගැෆික් කටයුතුවල නිරතව  සිටි මාධ්‍යවේදීන් වන ලලිත් සෙනෙවිරත්න හා නිහාල් සේරසිංහ යන අයද එදිනම ඊට ආසන්න වේලාවන්හිදී පැහැරගෙන යෑමකට ලක් වී ඇති බවද වාර්තා විය.

සිසිර ප්‍රියංකර සහෝදරයා රාජකාරියේ යෙදී සිටියදී අතුරුදහන් වීම පිළිබඳව දුම්රිය සේවකයින් තුළ මෙන්ම පොදුවේ දුම්රිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිමාධ්‍ය සංවිධාන හා බහුජන සංවිධාන වල දැඩි විරෝධයට හේතු විය. අදාළ මාධ්‍යවේදීන් තිදෙනා පැහැරගෙන යෑම සහ අතුරුදහන් කරවීම පිලිබඳව අදාළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර ලංකා දුම්රිය වෘත්තීය සමිති සම්මේලනය 2007.02.06 දින දෙමටගොඩ පොලිස් ස්ථානයේ අංක CB11172/47 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. රාජකාරියේ යෙදී සිටියදී අතුරුදහන් වී ඇති සිසිර ප්‍රියංකර පිළිබඳව අදාළ දුම්රිය බලධාරීන් රාජකාරි මට්ටමින් අදාළ වගකිව යුත්තන් වෙත දැනුම් දීම කටයුතු සිදු කර ඇති බවටද වාර්තා විය.

රාජකාරියේ යෙදී සිටියදී මෙසේ දුම්රිය සේවකයෙකු සහ වෘත්තිය සමිති ක්‍රියාකාරියෙකු වන සිසිර ප්‍රියංකර අතුරුදහන් වීම පිළිබඳව දුම්රිය සේවකයින් තුළින් විරෝධයක් පළ වූ අතරදුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති පැන නැගී ඇති ව්‍යාකුල තත්වයට තම විරෝධය පළ කරනු වස් ක්ෂණික විරෝධතා ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය.

අතුරුදහන් කිරීමට විරුද්ධත්වය පළ කිරීමක් වශයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස දුම්රිය ධාවනාගාර කාර්ය මණ්ඩලය එදින දවල් 12.00 පැයට සේවයෙන් මිදී රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වෘත්තීය සමිති කමිටුව විසින් සංවිධානය කරන ලැබූකොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයට සහභාගී විය. එසේම එකී විරෝධතාවය සඳහා වෘත්තීය සමිතිදේශපාලන පක්ෂජනමාධ්‍ය සංවිධාන හා බහුජන සංවිධාන එක්වූ අතර මෙම මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම පිලිබඳව තොරතුරු වහා එළිකරන ලෙස ආණ්ඩුවට බල කිරීමද සිදු විය.

තත්වය මෙසේ වුවද රජය ඇතුළු අදාළ බලධාරිහු එම පැහැර ගැනීම පිළිබඳව තමන් වෙත තොරතුරු නොමැති බවට දිගින් දිගටම ප්‍රකාශ කළහ. දිවයින පුරා දිගින් දිගටම සිදු වන පැහැර ගැනීම්අතුරුදහන් කිරීම් හා පැහැරගෙන ගොස් මරා දැමීම් සම්බන්ධයෙන් පවතින භීෂණකාරී වාතාවරණය තුළ මෙකී පැහැර ගැනීම් පිලිබඳව තොරතුරු හෙලිදරව් කිරීම නොකළහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවටද එහිදී අවධාරණය විය.

මෙම පැහැර ගැනීම් පිළිබඳව කිසිදු තොරතුරක් රජය සතු නොවන බව අවධාරණය කළ රජය පසුවඑනම් 2007 පෙබරවාරි 07 දින එම අතුරුදහන් වූවන් අත්අඩංගුවට පත් වී ඇති බව තහවුරු කලේය.

ඉහත කරුණු සැළකීමේදී මෙකී පැහැර ගැනීම් සාධාරණීයකරණය කිරීමට උත්සාහයක් ගෙන ඇති බව පැහැදිලිය. පැහැර ගෙන රඳවා ගනිමින් අදාළ මාධ්‍යවේදීන් විසින් කරන ලදැයි කියන පාපොච්චාරණයක්ද උපයෝගී කර ගනිමින් ඔවුන් එල්ටීටීඊ ක්‍රියාකාරීන් ලෙසට සමාජගත කිරීමට ක්‍රියා කර ඇත. එම ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය බව අධිකරණ ක්‍රියාමාර්ගයන්හිදී නිශ්චිත විය යුතු බැවින් අපි ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවෙමු.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති කැරණු හෝ තොරතුරු සම්බන්ධයෙන් අප සම්මේලනයට හා අකුණ පුවත්පත කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් එම කිසිවකට අප වග නොකියන බවත් තරයේ ප්‍රකාශ කරමු.

දුම්රිය වෘත්තීය සමිති සම්මේලනය දුම්රිය කම්කරුවන් ඇතුළු සමස්ත වැඩ කරන පංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන වෘත්තීය සංවිධානයක් බව අවධාරණය කරමු. දුම්රිය කම්කරු එකතුවේ මැදිහත් වීමෙන් ප්‍රකාශයට පත් කරනු ලබන “අකුණ” පුවත්පත වැඩ කරන පංතිය ප්‍රමුඛ පීඩිත ජනතාව විඳින පීඩාවන් පිළිබඳව හා එකී දේශපාලනය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රකාශයට පත් කරන්නක් බව අවධාරණය කරමු. එය ඉදිරියේදී එකී අරමුණ වෙනුවෙන් ක්‍රියා කරනු ඇත.

පැහැර ගැනීමට ලක් වූවන් කම්කරුවන් ඇතුළු පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අය බව අපි විශ්වාස කරන්නෙමු. කරුණු කෙසේ වුවත් එළැඹෙමින් පවතිනුයේ කම්කරුවන් ඇතුලු පීඩිත ජනතාවත් මර්දනය කර ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් කිරීමේ යුගයකි. එකී තත්වයන් පරාජය කිරීමට කම්කරුවන් ඇතුලු පීඩිත ජනතාව සමඟිව ක්‍රියා කල යුතුව ඇත.

ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති කරුණු හෝ තොරතුරු සම්බන්ධයෙන් අප සම්මේලනයට හා අකුණ පුවත්පත කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් එම කිසිවකට අප වග නොකිහන බවත් තරයේ ප්‍රකාශ කරමු.

(සරත් කුමාර ප්‍රනාන්දු ) 2007|02|18


අකුණ පුවත්පත ඇතුලු වෘත්තීය සමිති ව්‍යාපාරය මර්ධනය කරන්නට මහින්ද රාජපක්ෂ රජය එවකට (වර්ෂ 2007) කටයුතු කල අතර, සිසිර‚ සෙනෙවිරත්නනිහාල් යන අකුණ පුවත්පතට සම්බන්ධ සහෝදරවරුන් රාජපක්ෂලාගේ මර්ධනයට පළමු වටයේදීම ගොදුරු විය. දෙවන වටයේ කුමන්ත්‍රන කාරීලෙස තවත් 27 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගනිමින් විශාල භීෂණයක් අපගේ සහෝදරවරුන්ට මුදාහරින ලදි. වසර 08 කට ආසන්න කාලයක් අත් අඩංගුවේ හා සිර භාරයේ  තබා ගනිමින් සිටි අප කන්ඩායාමේ අවසන් සහෝදරවරු තිදෙනාද රජය විසින් එල්ලකෙරු ව්‍යාජ චොදනා වලින් නිදහස්ව 2014 වර්ශයේ අග නිදහස් බව ලබන ලදි. දැඩි භිෂණ වතාවරනය තුලදී වුව සියල්ල අත්අඩංගුවට ගනිමින් පවතින අවස්ථාවේ වුවද එවක අකුණ  පුවත්පතේ  සහෝදරයකු  විසින් ඉහත තොරතුරු රාවයට ලබාදී තිබිනි.      

“අකුණ” පුවත්පත ඉතිහාසයේ මර්ධනයන්ට ලක් කලද කිසිදා යටපත් කල නොහැකි ජනතා වාදී  සත්‍ය ඉදිරියේදී “අකුණ වෙබ් අඩවිය”  හරහා ඔබ වෙත මුදාහැරීමට බලාපොරොත්තු වෙමු.

“අකුණ නිවුස්” 

Related posts