අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ.

අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ.

(දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සත්‍යවේල් පියතුමා)

අත්අඩංගුවට ගෙන සිටින එල්.ටී.ටී සමාජිකයන් දේශපාලන සිරකරුවන්ද ?

මේ සමාජය අප බලාපොරොත්තු වන සාධාරණ සමාජය නෙමෙයි. ඊට එරෙහිව අරගල කල යුතු බොහෝ දෙනා නිකන් බලාගෙන ඉද්දි තමන් බලාපොරොත්තු වන සාධාරණ සමාජය වෙනුවෙන් අරගල කරන අයත් ඉන්නවා.එවැනි අරගලයන්ට උරදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ අය තමයි අපි දේශපාලන සිරකරුවන් ලෙස හදුන්වන්නේ 1971 දිත්, 88- 89 කාලයේදීත්, දෙමළ ජනයාගේ කැරැල්ල තුලත්, වර්තමාන දකුණේ විප්ලවවාදි දේශපාලනය තුළත් අපට දේශපාලන සිරකරුවන් දක්නට ලැබෙනවා.

උතුරේ තිබුනේ ත්‍රස්තවාදී කැරැල්ලක් නෙමෙයි කියලද ඔබේ මතය ?

ත්‍රස්තවාදී කැරැල්ලක් නම් ඔවුන් දේශපාලන සිරකරුවන් වෙන්නේ කොහොමද?.

ත්‍රස්තවාදී හංවඩුව දෙන්නෙ කවුද ?

මේ හංවඩුව 71 දීත් 88 – 89 දීත් පාලකයන් හා ඒ අයට ගැති මාධ්‍ය කැරලිකරුවන්ට දුන්නා. ඒත් අපි අමතක කරන්න හොද නැහැ. 1956 සිටම දේශපාලන විසඳුමක් නොදීම නිසා දිග්ගැස්සුනු ප්‍රශ්නයක් ලංකාවේ තවමත් තිබෙනවා. තමන්ගේ අයිතීන් පාගද්දි වර්ගවාදි කෝලාහල නිර්මාණය කරමින් දිගින් දිගටම ජාතියක් ලෙස තමන්ව සංහාරයට ලක් කරද්දි ඊට එරෙහිව කරපු ගාන්ධිවාදී, අවිහිංසාවාදි විරෝධතා යකඩින්, මුගුරින් තලා දමද්දි, ඒ බිඳ වැටුණු විශ්වාසය නිසයි දෙමළ තරුණයන් ආයුධ ගත්තේ.

කැරලිකරුවන් අත්අඩංගුවට ගැනිම වැරදිද ?

සාමාන්‍යයෙන් කවුරු අත්අඩංගුවට ගත්තත් ඒ අය පැය 24 ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න අය රඳවාගෙන ඒ තුලින් කායික මානසික හිංසා කරන්න අත්අඩංගුවට ගන්නා අය බොහෝ කළක් රඳවා ගන්න පුළුවන් . මෙහිදි අවුරුදු 10 – 15 ක් වුනත් ඇප නොදී තබාගන්න පුළුවන්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බලපාන්නේ උතුරට විතරක් නෙවෙයි. දකුණේ අරගලයන්ට එරෙහිවත් භාවිතා වුණේ මෙකී ඉතාම අයුක්ති සහගත නීති තමයි. පුදුම වෙන්න දෙයක් නෑ දකුනේ අයට ඒ අතීතය අමතකයි. දේශපාලන ගැටලූවක් නිසා ඇති වන අරගලකාරිත්වයක් වෙනුවෙන් අත්අඩංගුවට පත් වුවන් වෙනුවෙන් 71 දී ක්‍රියාත්මක වුනේ විශේෂ අධිකරණයක් ඉහත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන. ආණ්ඩු විසින් කරන්නේ ඉතාම නින්දිත ලෙස අරගලයට අදාළ දේශපාලන හරය වසා දමමින් අපරාධකරුවන් ලෙස අරගලකරුවන් හංවඩු ගසා ඔවුන්ගෙන් පලි ගැනීමයි. තමන් නොදන්නා භාෂාවකින් ලියපු ප්‍රකාශ වලට බලහත්කාරයෙන් අත්සන් ලබා ගෙන ඒ මත නඩු පවරා සිරගත කිරිම මේ හරහා සිදු වෙනවා. ඒ වැඩේ සාධාරණද?

මේ අයව නිදහස් කිරිම භයානක නැද්ද? ඔවුන් නැවත ආයුධ අතට ගත්තොත් ?

මේ කතා දකුණේ සිංහල ජාතිවාදීන් තමන්ගේ පටු දේශපාලන වුවමණාවට යොදා ගන්න කතාවක්, බොරු භීතිකාවක්. කරුණා අම්මාන්ලා වගේ අය ගැන මෙකී ජාතිවාදි කොටස් මේ විධියට තර්ක කරන්නේ නෑ. කොටි සංවිධානයට නැව් ගණන් ආයුධ ගෙන්වීමට මැදිහත් වුණු කේ.පී.වැනි අය ගැන මේ විදියට මේ අය කතාකරනනේ නෑ ඒ අය පුනරුත්ථාපන ක්‍රියාවලියෙනුත් තොරවයි නිදහස් වෙලා ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ සමයේ 12,000 ක් නිදහස් වෙලා තියෙනවා. එතකොට වීරවංශලා, ගම්මන්පිලලා කටක් ඇරියේ නෑ. අද මේ අය මේ සියලූ චෝදනා කරන්නේ කොටි සංවිධානයේ තීරණ ගැනීමේ අයිතිය පවා හිමි නොවු අසාධාරණ ලෙස සිරගත කර සිටින 160 ක පමණ පහළ සාමාජිකයන් වෙතයි.

කොටි සංවිධානයට උදව් කළ අය අපරාධකරුවන් නොවෙයිද?

වසර ගණනාවක් කොටි සංවිධානය යටතේ පාලනය වූ ප්‍රදේශයක ජිවත් වූ ජනතාවකට සෘජුව හෝ වක්‍රව ඔවුන්ට සහය නොදී ඉන්න පුළුවන්ද?. ඔබ විශ්වාස කරනවාද අනෙක් අතට කොටි බවට පත්වුන ඔවුන්ගේම සහෝදර සහෝදරියන්,නැදෑ හිතමිතුරන්, දෙමාපියන්, දරු මුණුබුරන්,ඒ අය කොටින්ගේ අදහස් වලට නැඹුරු වුනෙත් නිකම්ම බව. දිගින් දිගටම දකුණේ ආණ්ඩු වලින් හමුදාවන්ගෙන් පොලිසිවලින් සිදුවුණු අසාධාරණකම් හමුවේ ඔවුන් නිහඩව සිටීද?. ඔබ මදකට හිතන්න ඒ අයට සිදු වූ දේ අපිට වුණා නම් අපි මොකද කරන්නේ කියල.?

එතකොට මේ වෙනකොට සිර ගෙදර ඉතිරි වෙලා ඉන්නෙ ප්‍රධාන පෙලේ කොටි සාමාජිකයන්ද?

අත්අඩංගුවට පත් සියලූම ප්‍රධන පෙලේ නායකයන් නිදහස් වෙලා ඉන්නේ ඇත්තටම දැන් තබාගෙන ඉන්නේ 160 ක දෙනා කියන්නේ අවුරුදු තිහක යුද්ධයේ ගොදුරු බවට පත් වූ අයයි. අවුරුදු 30 ක මහා ඛේදවාචකයකට වගකියන්න ඕන මේ 160 දෙනාද? ඒ විතරක් නෙවෙයි මේ අයට නඩු පවරා තිබෙන ආකාරයෙන් බරපතල ගැටලූ තියෙනවා උදාහරණයක් ලෙස ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය පිළිබඳ අත්අඩංගුවට ගෙන නඩු පවරලා තියෙන්නේ පිහිඹියා ගහක අත්තක් කපපු මනුස්සයෙක්ට. චන්ද්‍රිකා ඝාතනය කිරීමට තැත් කළා කියා අවුරුදු 290ක් හිරේට නියම කරලා තියෙන්නේ අත්අඩංගුවට පත්වෙනකම්ම වව්නියාවෙන් මෙපිටට ඇවිත් නැති මනුස්සයෙක්. පුළුවන් තරම් වද හිංසා කරලා සිංහලෙන් ලියපු ප්‍රකාශ වලට අත්සන් අරගෙන තමයි මේ අයව මේ විදියට නඩු දාලා සිරගත කරලා තියෙන්නේ. ඉතින් මේක සාධාරණ ද?

ඔබේ අදහස දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවද?

අපේ රට ප්‍රධාන ආගම් කිහිපයක පහස ලබන රටක්, මේක ධර්මද්වීපයක් කියලත් කියනවා. ඉතින් බුද්ධාගමට අනුව මෛත්‍රිය පිළිබඳ කාරණාවක් ක්‍රිස්තියානුවන්ට අනුව ප්‍රේමය හා දයාව පිළිබඳ කාරණාවක් ඒ සියල්ලටම වඩා ඉහත අප කී සියල්ල සලකා බැලීමේදී මේක යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ කාරණාවක්. මේ කාරනා නිසා දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර තව තවත් අවිශ්වාසය ඇති වෙන එක වලක්වන්න බැහැ. සැබෑ සංහිදියාවට මේක ලොකු බාධාවක්. වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ මේ අයුක්තියට එරෙහිව සාධාරණය ඉටු කරනවා කියලා. ඒත් මහින්ද රාජපක්‍ෂ වගේම රනිල් වික්‍රමසිංහත් – මෛත්‍රීපාල සිරිසේනත් කියලා තියෙනවා ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ කියලා. තිස් අවුරුදු යුද්ධයකට වග කියන්න ඕන මේ 160 දෙනාද? එසේ නොමැති යැයි ඔබ සිතනවා නම් සියලූ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීමේ අපේ අරගලයට එක්වන්න.

සාකච්චා කලේ (අකුණ).

Related posts